Sunday, April 3, 2011

දිලුම් වෙනුවෙන් පැවති සිව්වන සංගීත සාජ්ජය - ඩෙසර්ට් කබ්ස් සොඳුරු රාත්‍රිය

පැදුරු සාජ්ජ්ය අංක 4
දිනය : මාර්තු 31, 2011
ස්ථානය : ඩෙසර්ට් කබ්ස් ක්‍රිකට් පුහුණු පාසලේ සුහද හමුව, සිටි සීසන් හෝටලය, ඩේරා, ඩුබායි
එකතු වූ මුළු මුදල : AED 3900
රුපියල් අගය ( 03/04/2011 හුවමාරු අගය මත ) : 117,194.32 LKR


සුන්දර මිනිසෙකු පමණක් නොව සොඳුරු කළාකාමියෙකුද වන ප්‍රෙස්ලි පොලොන්නෝවිට මහතා ප්‍රධාන පුහුණු කාරීතවය දරන ඩෙසර්ට් කබ්ස්  ක්‍රිකට් ක්‍රීඩා පුහුණු පාසල අද දින වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අංකුර ක්‍රිකට් ක්‍රීඩකයින් ප්‍රවීනයන් බවට පත් කිරීමේ මහඟු කාර්ය‍යේ යෙදී සිටින ප්‍රමුඛතම ක්‍රිකට් ක්‍රීඩා පුහුණු පාසලයි. එක්සත් අරාබි එමීරයේ පමණක් නොව මුළු මහත් අරාබිකරයේම අංකුර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ තෝතැන්න බවට අද දින පත්වී තිබෙන්නේත් ඩෙසර්ට් කබ්ස් ක්‍රිකට් ක්‍රීඩා පුහුණු පාසලයි.

පාසල ප්‍රථමයෙන්ම ආරම්භ කරන ලද්දේ අදින් සිව් වසරකට පෙර එනම් 2007 දී ක්‍රීඩකයින් 8 දෙනෙකුගෙනි. ආරම්භයේදී සම්පූර්ණ ලාංකීය ස්වරූපයක් ගැණුනු මේ ක්‍රීඩා පාසලට එම නම වැටුනේද "කාන්තාරයේ සිංහ පැටව්" යන තේරුම රැගත් ‘ඩෙසර්ට් කබ්ස්’ යන නම යෙදීමෙනි. ඉතාමත් කෘතහස්ථ ක්‍රිකට් පුහුණු කරුවෙකු වන ප්‍රෙස්ලි සිව් වසරක් තුලදී ලබාගත් කීර්තිය නිසාම අද වන විට සිය ගණනක් වූ ලාංකීය පමණක් නොව, ඉන්දියානු සහ පකිස්තානු ක්‍රීඩකයින් සහ සහාය පුහුණු කරුවන් රැසක් සමග ඉතාම දිග ගමනක් යෑමට පිඹුරුපත් සකසා හමාරය. එම සාර්ථකත්වයේ එක් සුවිශේෂී කඩ ඉමක් සටහන් කල, පසු ගියදා නිමාවට පැවති අවුරුදු 15න් පහල "නිසාන් ගල්ෆ් කප්" කුසලානය හිමි කර ගන්නා ලද්දේ "ඩෙසර්ට් කබ්ස්" ක්‍රිකට් ක්‍රීඩා පුහුණු පාසල් කණ්ඩායමයි.  එම ජයග්‍රහණයේ සතුට භුක්ති විඳීම සඳහා මාර්තු මස 31 වනදා පැවති සුහද හමුවට සහභාගී වීමට තරම් අපද වාසනාවන්ත වුනෙමු. එම සුහද හමුව රසවත් කිරීම සඳහා ප්‍රෙස්ලි විසින් අප හට ආරාධනය කරන ලද්දේ අප මේ දිනවල දිලුම් වෙනුවෙන් යෙදී සිටින පැදුරු සාජ්ජ ව්‍යාපෘතිය ගැන කණ වැකී තිබූ නිසාවෙන්ය. වෘතීය මට්ටමේ සංගීතඤ්ඥයන් නොවන අප වැනි සංගීත කණ්ඩායමකට වඩා වෘතීය මට්ටමේ වූ ගායන හා වාදක කණ්ඩායමක් සහභාගී කර ගැනීමට ඉහටත් උඩින් හැකියාව තිබූ ප්‍රෙස්ලි, අප හට එම අවස්ථාව උදා කර දෙන ලද්දේ අපගේ මේ මහඟු කාර්ය්‍යය සාර්ථක කරගැනීම සඳහා සුහද අත හිත දීමක් ලෙසිනි. අපගේ අනේක වාරයක් ස්තූතිය ඔහු වෙත පිරිනැමෙන්නේද ඒ නිසාවෙනි.

දිලුම් වෙනුවෙන් අප මේ තාක් පැවැත්වූ පැදුරු සාජ්ජයන්ට වඩා මෙම ප්‍රියසාදය සුවිශේෂ වන්නේ කාරණා කීපයක් නිසාය. ප්‍රථමයෙන්ම මෙය "පැදුරු සාජ්ජයක්" නොවීමත් සහ අප ඉදිරියේ අසුන් ගෙන සිටියේ හුදෙක් ශ්‍රී ලාංකිකයන් පමණක් නොවීමත් නිසාය. මම පෙර සඳහන් කලාක් මෙන් සාදයට සහභාගී වූවන් අතර ශ්‍රී ලාංකිකයන්ට අමතරව ඉන්දියානු සහ පකිස්තානු ජාතිකයන්ද රැසක් සිටියහ.ඉදින් අප මේ තාක් පැවැත් වූ පැදුරු සාජ්ජයන්ට වඩා වෙනස් රාමුවක් තුල හිඳිමින් ගායනය සහ වාදනයේ යෙදෙන්නට අප හට සිදු වී තිබුනි. විශේෂයෙන්ම හිංදි ගීත කිහිපයකුත්, ඉංග්‍රීසි ගීතත් ගායනය සහ වාදනය කරන මෙන් ප්‍රෙස්ලි විසින් අපගෙන් කාරුණිකව ඉල්ලා සිටින ලද්දේ පැමිණෙන සෑම දෙනෙකුටම රස වින්දනය කල හැකි පරිසරයක් නිර්මාණය කිරීම සඳහාමය.

ප්‍රධාන පෙළේ ක්‍රිකට් පුහුණු කරුවෙකුගේ දක්ශතාවය පමණක් නොව ඉතාමත්ම වෘතීය මට්ටමේ ගීත ගායනයකට උචිත හඬකුත් හිමි ප්‍රෙස්ලි පැමින සිටියවුන් අමන්නානන්දයට පත් කලේ ඉතාමත් අගනා ගායනයක් ඉදිරි පත් කිරීමෙනි. ඒ අතරට ඩෙසර්ට් කබ්ස් ක්‍රිකට් පුහුණු පාසල් පවුලේම සාමාජික සාමාජිකාවන් වන සංජීව, ශෂිනි, ලෝචනා සහ කොලින්ස් ද ගීත ගායනයට එක් වෙමින් අප හට මහඟු සහායක් දැක්වූයේ එම රාත්‍රිය අති වර්ණවත් කරමිනි.
දිලුම්ගේ පණිවිඩය පැමින සිටියවුන්ට ගෙන යන ලද්දේද ප්‍රෙස්ලි විසින්මය. අපගේ පෙරමුණේ රාල ලෙස අප සැමදාමත් හඳුන්වන ජෝජ් අයියා විසින් සිංහලෙන් පූර්ව කථනයක්ද දර්ශණ විසින් ඉංග්‍රීසි පූර්ව කථනයක්ද කලේ අපගේ මේ ව්‍යායාමය ගැන පැහැදිලි කරමින් සහ මේ තාක් අප ලබා ඇති ප්‍රගතිය සමාලෝචනය කිරීමෙනි. ඉන් පසු එළඹි හෝරාවේදී වෙනදා මෙන්ම මුදල් මංජුසාව පිරී ගියේ ඉතාමත් වේගයෙනි.  තවෙකෙකුගේ දුකක් දෝමනස්සයක් හමුවේ උණුවෙන හදවතකින් සපිරි පැමින සිටි සියළුම ලාංකීය, ඉන්දියානු සහ පකිස්තානු ජාතිකයින් කිසිදු බේදයකින් තොරවම දිලුම්ගේ ශල්‍යකර්මය වෙනුවෙන් මුදල් පරිත්‍යාග ලබාදෙන ලදී. සාදය අවසනදී මුදල් මංජුසාව තුල එකතුවී තිබූ මුදල් ප්‍රමාණය ඩිරාම් 2800 කි. ඒ අතරට ප්‍රෙස්ලි විසින් ක්‍රිකට් පාසල වෙනුවෙන් දිලුම්ගේ ශල්‍යකර්මය උදෙසා ඩිරාම් 1000 ක මුදලක් පරිත්‍යාග කරන ලද්දෙන් එම සැඳෑවේදී දිලුම් වෙනුවෙන් එකතු වූ මුලු මුදල ඩිරාම් 3800 කි.  ප්‍රෙස්ලි පොලොන්නෝවිට මහතා සහ ඩෙසර්ට් කබ්ස් ක්‍රිකට් පුහුණු පාසලටත් දිලුම් වෙනුවෙන් නොමසුරු පරිත්‍යාග කල සියළුම සහෘදයන්ටත් අපගේ අති මහත් කෘතඥ්ඥ බව මේ අවස්තාවේදී පිලිගැන්විය යුතුයි.

මේ සුහද හමුව සඳහා සූදානම් වීමට අපහට ලැබී තිබුනේ සතියකටත් වඩා අඩු කාල සීමාවකි. ඒ අතරට අළුතෙන්ම හිංදි ගීත සහ ඉංග්‍රීසි ගීත පුහුණුවකුත් අප හට කිරීමට සිදුවූ තිබූ නිසා සතිය තුල පුහුණුවීම් වාර දෙකක් පැවැත්වීමට අපහට සිදු විය. මාගේ සහෘද සංගීත කණ්ඩායම අති වෙහෙසකාරි දවසක් අවසානයෙදී රාත්‍රී 8 පමණ සිට රාත්‍රී 1, 2 වන තුරු පුහුණුවීම් කරන ලද්දේ නැවතත් පහුවෙනිදා හිමිදිරි උදෑසන රාජකාරියට වාර්ථා කිරීමට තිබියදීය. විශේෂයෙන්ම කෘතවේදීව සිහිපත් කලයුතු කාරණාව නම් අපගේ මිතුරු රජීව්, කොර්ෆකාන් සිට කිලෝමීටර් 200 ක් පමන දුර ගෙවා රාත්‍රී පුහුණුවීම් වලට පැමිනීමත් නැවතත් එම රාත්‍රියේම ඔහු රාජකාරී කරන කොර්ෆකාන් වෙත යෑමත් කිසිම පැකිලීමකින් තොරවම සිනා මුසු මුහුනින් විඳ දරා ගැනීමත්ය.  ඒ අතරතුර දයාබරව සිහිපත් කල යුතු වන්නේ කුඩා දියණියන් දෙදෙනෙකුගේ වැඩ රාජකාරි තිබියදීත් අපගේ පුහුණුවීම් සිදුකල දිනයන්හී අපගේ තබ්ලා වාදක දර්ශන සොයුරා සහ ඔහුගේ ආදර බිරිඳ ෂෙනාලි අප වෙනුවෙන් රස මසුවලින් කල සංග්‍රහ සත්කාරයන්ය. අපගේ නිත්‍ය බේස් ගිටාර් වාදක කින්ග්ස්ලි මේ දිනවල ලංකාවේ නිවාඩුව ගත කරන බැවින් ඒ අඩුව පිරවීමට අප හා එකතු වූ, ලංකාවේ කීර්තිමත් "බෝගොඩ" සංගීත පරම්පරාවේම පුරුකක් වන බානු බෝගොඩ සහෘදයානන්ටද මේ අවස්තාවේදී අපගේ කෘතවේදීත්වය පිරිනැමිය යුතුය. බ්‍රහස්පතින්දා සුපුරුදු කාර්ය බහුල දිනයක් ගෙවා දමා, අබුඩාබි නගරයේ සිට කිලෝමීටර සිය ගණනක් දුර ගෙවා පැමිණ සාදය ආරම්භවීමට ප්‍රථම අප හා එක් වන්නට බානු ගත් උත්සාහය ඉතාමත් ප්‍රශංසනීයයි. මේ සද්කාරයට සම්භන්ධ වීමෙන් ඔවුනට ලැබෙනුයේ තව මිනිසෙකුට පිහිට වීමෙන් ලැබෙන ආත්ම තෘප්තිය පමණි. ඉදින්ම එය අගය කල යුතු නොවේද ?

 
තවත් මතක් කල යුතු කරුණක් වන්නේ මින් සති කීපයකට පෙර සිසේරියන් සැත්කමකින් අපේ කැදැල්ලට සපැමිණි කිරි කැටි දියණියගේ කටයුතුද, සැත්කම නිසා විඳින අනේක විදි අපහසුතාවයන්ද දරාගනිමින්, වැඩ ඇරී ගෙදර පැමිණි මොහොතේ සිට ගිටාරය අතටගෙන ගීත පුහුණුවීම් සහ සංගීත ප්‍රස්ථාර කටයුතු උදෙසා කාලය මිඩංගු කරන, මාගෙන් විය යුතු යම් යම් කටයුතු අතපසු වීම් සෙනෙහේ සිතින් විඳ දරා ගනිමින් නිරතුරුවම මාව දිරිමත් කරන මගේ ආදරණීය බිරිඳගේ සහයෝගය නොමතිවුවේ නම් මේ තාක් පැමිණි ගමන් මග හුදෙක් සිහිනයක්ම වන්නට තිබුනි. ඇය වෙත මාගේ හද පිරි ආදර ස්තූතිය නිතැතින්ම හිමි විය යුතු නොවේද ?


එනමුදු කෙතරම් වෙහසාකාරී වුවද දිලුම් වෙනුවෙන් වූ අපගේ මේ ව්‍යාපෘතිය මේ තාක් ලබා ඇති අති සාර්ථක ප්‍රගතිය විඳීම සහ අපගේ සියළුම කැපවීම් වල මල්ඵල ගැන්වීමම අප සැම දෙනා දිරිමත් කරමින් ඉදිරියටම යෑමට අවශ්‍ය ජවය සපයයි.



මේ තාක් ලබා ඇති ප්‍රගතිය මෙතනින් බලන්න.

ප.ලි:සාජ්ජයට සහභාගී වූ අයෙකු පසුව ලබා දුන් ඩිරාම් 100 ක මුදලත් සමග, සාදය අවසානයේ ඩිරාම් 3800 වූ මුදල ඩිරාම් 3900 දක්වා ඉහල ගොස් ඇති බව කරුණාවෙන් සලකන්න.


එක්සත් අරාබි එමීරයේ "අපේ කට්ටිය" මිතුරු සංසදයේ තවත් ව්‍යාපෘතියක්.


Thursday, March 3, 2011

දිලුම් (ඉලංදාරියා) වෙනුවෙන් ආධාර එකතු කිරීම සදහා වූ ටිකට්පත් විකිණීමෙන්, ඔබටත් දායක විය හැකියි.

දිලුම් (ඉලංදාරියා) වෙනුවෙන් ආධාර එකතු කරන්න ටිකට් පතක් මුද්‍රණය කරා කියල ඔයාල දැනටමත් දන්නවනෙ. ඒ ගැන පලවුනු ලිපි දෙක කියෙව්වෙ නැත්නම් මෙතන ක්ලික් කරල (01 ලිපිය, 02 ලිපිය) ඒ ලිපි දෙක කියවලම ඉන්න. පෙබරවාරි 06 වෙනිදා දිලුම් වෙනුවෙන් උදව් කරන්න ඉදිරිපත් වෙලා ඉන්න අයගෙ හමුවක් නුවරදී පැවැත්වුනා. ඒකට දිලුම්ගෙ පාසල් කාලෙ මිතුරන් වගේම අන්තර්ජාලය හරහා දිලුම්ව අදුනගත්ත මිතුරනුත් පැමිණ සිටියා. එදින සාකච්ඡා කරන ලද එක් කරුණක් තමයි මේ ටිකට් මුද්‍රණය කිරීම.

එක් ටිකට් පතක් රු. 50 ක මුදලකට අලෙවි කිරීමට තීරණය වුනු අතර, දිලුම්ගේ පාසලේ හා විශ්ව විද්‍යාල තුළ අලෙවි කිරීම සදහා පමණක් රු. 20 ටිකට් මුද්‍රණය කිරීමට එදින තීරණය කළා‍.

මෙම කටයුත්ත විනිවිදභාවයෙන් සිදුවිය යුතු නිසා පහත සදහන් විස්තර ඉදිරිපත් කිරීම සුදුසු යයි සිතනවා.

ටිකට් මුද්‍රණය කළේ මාතලේ Salcalink Printers & Communication ආයතනයෙන්. එම ආයතනය සම්බන්ධ කරල දුන්නෙ දිලුම්ගෙ තාත්ත. ටිකට් මුද්‍රණය කිරීම සදහා මහනුවර ප්‍රදේශයේ මුද්‍රණාල වලිනුත් මිල ගණන් ඇසූ නමුත් අඩුම මිල ගණන් ඉදිරිපත් කළේ මෙම ආයතනයෙන්. ටිකට් මුද්‍රණයට දීමේදී හා ලබාගැනීමේදී සම්පූර්ණ සම්බන්ධීකරණ කටයුතු කළේත් දිලුම්ගේ තාත්තා විසින්.


මුද්‍රණය කරන ලද
රු. 50/= ටිකට් ගණන = 11600
රු. 20 ටිකට් ගණන = 2400
මුද්‍රණය කරන ලද මුළු ටිකට් ගණන = 14000
ඒ අනුව මෙම ටිකට් සියල්ල අලෙවි කරගැනීමට හැකිවුවහොත් එකතුවන මුළු මුදල = රු. 628000/=

මෙයින් රු. 50/= ටිකට් 5000 ක් කොළඹ අවට අයට බෙදාදීම සදහා අසංක ද සිල්වාට සහ වැප් නිශාන්තට ලබාදෙන ලදී. රු. 20 ටිකට් 2000 ක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය තුළ අලෙවි කිරීම සදහා නදුන් පියතිලකවිසින් ලබාගත්තා. පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ අලෙවි කිරීම සදහා ඉතිරි රු. 20 ටිකට් 400 අසංක හේනේගම විසින් ලබාගත්තා.

ටිකට්වල මුද්‍රණ වියදම දරණ ලද්දේ ශාන්ත සිල්වෙස්තර විදුහලේ 2004 උ/පෙ කණ්ඩායමයි.
සදහා බුද්ධික ධනංජය හා නාමල් ජයසිංහ යන දෙදෙනා එකතුව රු. 5000/= ක් ලබාදුන් අතර, නදුන් පියතිලක, T.C. රණසිංහ හා D.G.R. රණසිංහ යන තිදෙනා රු. 500/= බැගින් ලබාදුන්නා. ඒ අනුව එකතු වූ මුළු මුදල 6500/= ක් වේ. ටිකට් මුද්‍රණය සදහා ගිය මුදල රු. 5300/= කි. ඒ අනුව රු. 1200/= ක මුදලක් ඉතිරිව තිබේ. මෙම ඉතිරි මුදලෙන් අප පාසල තුළ අලෙවි කිරීම සදහා රු. 20 ටිකට් ප්‍රමාණයක් නැවත මුද්‍රණය කිරීමට බලාපොරොත්තු වෙනවා.

ටිකට්පත මුද්‍රණය කරන්න කලින් එහි sample ticket එකක් CyberFriends for Dilum (ඉලංදාරියා) නම් facebook group එකට upload කළා. එහිදී එම group එකේ සාමාජිකයන් දැක්වූ අදහසුත් ගොඩක් උදව් උනා ටිකට් එක හරියාකාරව සකස් කරගන්න.

ඔබ තවමත් ටිකට් පොතක් ලබාගත්තේ නැත්නම් ටිකට් පොතක් හෝ විකුණා දෙන්නේ නම් එය දිලුම් (ඉලංදාරියා) වෙනුවෙන් කරන මහගු උපකාරයකි.

ඔබට ටිකට් පොත් ලබාගන්න පුලුවන් ආකාරය කලින් පල කළ ලිපි දෙකේ සදහන් වනවා. (01 ලිපිය, 02 ලිපිය)

Saturday, February 26, 2011

දිලුම් වෙනුවෙන් පැවති තෙවන පැදුර - මල් සුවඳද මිනිසුන් තරම්ම ?

පැදුරු සාජ්ජ්ය අංක 3
දිනය : පෙබරවාරි 24, 2011
ස්ථානය : සාජාහි, සරත් සහ මානෙල් කුරුවිට ආරච්චි දෙපළගේ සොඳුරු නිවස.
එකතු වූ මුළු මුදල : AED 3800
රුපියල් අගය ( 28/02/2011 හුවමාරු අගය මත ) : Rs 114,603.96

"මිනිසා සුවඳයි මලසේ......!" සුනිල් එදිරිසිංහයන්ගේ මේ ගීතයේ මේ පද පෙළ ඉතාමත්ම ලයාන්විතව මට හැඟෙන්නේත් දැනෙන්නේත් දැන් යැයි කියා මට සිතේ. එහෙත් "පරවී වැටිලා, ඒ මල මේ දෙරණේ..." යන පද පෙළට මම එකඟ නොවෙමි. එය එසේ නොවන බව මට සක්සුදක්සේ මගේ ඇස් ඉදිරියේම පැහැදිලි වෙමින් තිබෙන නිසාය. මා කොතරම් වාසනාවන්තයෙකුදැයි සිතෙන්නේ මේ නියම මිනිසුන්ගේ සැබෑ සුවඳ මේ දින කිහිපයේදී මා යෙහෙමින් විඳමින් සිටින නිසාය.

දොන් සරත් කුරුවිට ආරච්චි සහ මානෙල් කුරුවිට ආරච්චි යන සහෘදයන් අරාබි එමීරයට පා තබා තිබුනේ මීට දශක තුනකට පමණ පෙරය. එනම් ලංකාවෙන් ඩුබායි කරයට පා තැබූ මුල්ම ශ්‍රී ලාංකිකයන් අතර ඔවුන් පෙරමුණේ රාළලාය. ඉතාමත් සුන්දර, කාරුණික මිනිසුන් වන ඔවුන් දෙපලට අප ආමන්ත්‍රණය කරන්නේ, "සරත් අයියා සහ මානෙල් අක්කා" ආදරණීය වදනෙනි. ඒ ඔවුන් වචනයේ පරිසමාර්ථයෙන්ම ආදරණීය මිනිසුන් වන නිසාය. කතරේ ඉදිවූ ක්ෂේම භූමියක් බඳු නෙක මලින් සහ පලින් බර ඔවුන්ගේ ගෙවත්ත මට නිරතුරු සිහි ගන්වන්නේ ලංකාවේ සරුසාර ගෙවත්තකි. එහි පිපෙන ඵල දරන සෑම ගසක්ම සරත් අයියාගෙත්, මානෙල් අක්කාගෙත් දෑතින්ම සැලකුම් ලබා හැඩි දැඩි වූවන්ය. අප සහෘද හමුව වන "අපේ කට්ටිය" මිතුරු සංසදයේ මිතුරු හමුවීම් වලට නොවරදින නවාතැනක් වන්නේ ඔවුන් දෙදෙනාගේ සොඳුරු නිවහනයි. ඉදින් ඒ පියස නම් අපට කිසි දින ආගන්තුක නොවන්නකි.

දිලුම් වෙනුවෙන් ප්‍රථම පැදුරු සාජ්ජය සංවිධානය කරමින් ඉන්නා මොහොතක මා සරත් අයියාව ඇමතුවේ සාජ්ජය සඳහා ඔහු දන්නා හඳුනන අජ්මාන්හී පිහිටි "කලම්බෝ බේකරියෙන්" තැටි පාන් ලබා ගැනීම සඳහායි. දිලුම් ගේ විස්තරය සැකවින් ඔහු හමුවේ විස්තර කරමින් අපගේ පැදුරු සාජ්ජ ව්‍යාපෘතිය පිලිබඳ සංකල්පය ගැන හැඳින්වීමක් කෙරූ සැනකින්ම සරත් අයියා පැවසුවේ "මල්ලි, ඇයි අපේ ගෙදර එකක් තියන්නේ නැත්තෙ....?" කියායි. දිලුම් වෙනුවෙන් තෙවන පැදුරු සාජ්ජය සඳහා මුල්ම පිඹුරු පත සැකසෙන්නේ එසේය. කටු සටහන් ගැසූ එම පිඹුරු පත එතැන පටන් සම්පූර්ණ කිරීමේ බර අතට ගත්තේ "අපේ කට්ටිය" මිතුරු සංසදයේ පෙරමුණේ රාළ වන අපේ ජෝජ් අයියායි. ජෝජ් අයියා යමක් සංවිධානය කරන්නේ යම් සේද, එය කිසිදු ඇද අඩුපාඩුවක් නැතිව කරන්නේ අති විශිෂ්ඨ ලෙසින්ය.

දිලුම් වෙනුවෙන් තෙවන පැදුරු සාජ්ජය පැවැත්වූයේ, "අපේ කට්ටිය" මිතුරු සංසදයේ සහෘදයන් වෙනුවෙනුත්, සරත් මානෙල් යුවලගේ සමීපතයින් කිහිප දෙනෙකුත් වෙනුවෙන්ය. රාත්‍රී 9 යට පමණ පටන්ගෙන පාන්දර ජාමේ 3 වනතුරු පැවති සොඳුරු සමයට ශාස්ත්‍රීය, කැලිප්සෝ, වේග රිද්ම ගීත අඩුවක් නැතිව ගලා ගියේ සියළුම දෙනාගේ සිත් සතන් පිනා යන පරිදිය. සුපුරුදු ලෙසින්ම ගීත සැන්දෑව ගලා යන අතර තුර දිලුම් සම්භන්ධයෙන් පැමිණ සිටිය අයවළුන් සඳහා සමාලෝචනයක් කල අතර ඉන් පසුව පසෙකින් තබා තිබූ මුදල් මංජුසාව පිරී ගියේ ඉතා වේගයෙනි. මිනිසුන්ගේ සිත් කෙතරම් සුවඳ දැයි දැනෙන්නේ මෙවන් අවස්ථාවලය. කෙනෙකුගේ දුක්ඛ දෝමනස්සයන් හමුවේ තෙත් සිත් ඇත්තවුන්, තමන් දුක් මහන්සියෙන් සරි කරගත් මුදලින් කොටසක් නන්නාදුනන මිනිසෙකුගේ කඳුලක් පිසලෑම සඳහා නොමසුරුව පරිත්‍යාග කරන ලදී.


මාර්තු 24 වන දින අපගේ දයාබර මානෙල් අක්කාගේ උපන්දිනයයි. එවන් දිනයක් දිලුම් වෙනුවෙන් කැප කිරීමම මානෙල් අක්කාවත්, සරත් අයියාවත් අගය කල යුතු දෙයක් නොවන්නේද ? මානෙල් අක්කාගේ උපන්දිනය ගැන දැන සාජ්ජයට පැමිනියවුන්ට ඇය පවසා සිටියේ තමන් වෙනුවෙන් උපන්දින තෑගි රැගෙන නො එන ලෙසත්, තමා වෙනුවෙන් දිය හැකි හොඳම තෑග්ග නම් දිලුම්ගේ අරමුදල මුදලක් පරිත්‍යාග කිරීමත් යන්නය. එයින් නොනැවතුන ඇය, එදින උදෑසන තමන් රැකියාව කරන පාසලේදි ඇයගේ මිතුරන් ඇය වෙනුවෙන් සංවිධානය කල උපන්දින සාදයේදීත් ආයාචනය කර තිබුනේ මේ කර්තව්‍යයට මුදල් පරිත්‍යාග කරන ලෙසය.ඉදින් එසේ සාජ්ජය ආරම්භ වීමටත් පෙර මානෙල් අක්කා වෙත ලැබුනු ඩිරාම් 700 ක ( රුපියල් 21 000) මුදලක් ඇය විසින් මංජුසාවට දැමීමට තරම් ඇය කාරුණික විය. දයාබර මානෙල් අක්කාට මුළු හදවතින්ම සුභම සුභ උපන්දිනයක් පතන අතර මේ පැදුරු සාජ්ජය ඇයට කිසිදින අමතක නොවන උපන්දින තෑග්ගක් වනවා නොඅනුමානය.

ඉලන්දාරියා පවසා තිබූ අයුරින්ම අපගේ ජීවිත නම් ඉතාම පුදුමාකාරයි. පැදුරු සාජ්ජය ආරම්භ වීමට හෝරා කිහිපයක්ට කලින් අප සවනත වැකුනු ඉතාමත් දුක්ඛදායී ආරන්චියකින් අප සැවොම සැලී ගියා. ඒ නම් "අපේ කට්ටිය" සහෘද සංසදයේ අප අතර සිටින සොඳුරු මිනිසෙකු සහ ප්‍රතිභා පූර්ණ ගායකයෙකු වන ආනන්දලාල් පෙරේරා සොයුරාගේ එක කුස හොත් සොයුරියගේ අභාවයයි. ප්‍රථම සාජ්ජ දෙකටම නොවැලක්විය හේතු මත සහභාගී වීමට නොහැකිව, තෙවන සාජ්ජයේදී ගී ගායනයට ඉතා ඕනෑකමින් බලා සිටි ඔහු, අපේ අන්නන්ද අයියා මේ අවසනාවන්ත පුවතින් තැලී ගිය සිතින් කඳුළු වගුරවමින් ඉන්නා මොහොතකයි, අපිට ඉලන්දාරියා වෙනුවෙන් කල යුතු වූ මේ මහඟු කාර්ය්‍යය කිරීමට සිදුවූයේ.ඉතාමත් කාරුණික හදවතක් සතුවූ සිටි චාලට් පෙරේරා සොයුරිය, එක්සත් අරාබි එමීරයන් සප්තකයෙන් එක් එමීරයක් වන ෆුජෙයිරා හී ඔටුන්න හිමි කුමරුවන්ගේ ආයම්මා ලෙස ෆුජෙයිරා මාලිගයේ ඔහුව රැක බලාගත්තාය. මින් කාලයකට පෙරදී මොලයේ හටගත් ගෙඩියක් හේතුවෙන් සැත්කමක් කිරීමෙන් පසුව කාලයක් එක් තැන්ව සිටි ඇය ඊයේ සවස සදහටම ඇස් පියාගෙන සිටියාය. අප සියළුම දෙනාට දයාබර සොයුරියක්ව සිටි ඇයට මෝක්ෂ සුවය අත්වේවා යැයි මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරමි.

මේ සියළුම දුක්ඛ දෝමනස්සයන් මැද වුවද, මා වටා සිටින සහෘදයන් කැලගේ කැපවීම සහ ත්‍යාගශීලී බව නිසාම, මේ පැදුරු සාජ්ජ කර්තව්‍යය ඉතාමත් සාර්ථකව ඉදිරියට යමින් පවතී. එයම අප සැමට ගෙන එන්නේ පස්වනක් ප්‍රීතියක් නොවන්නේද ?





ප.ලි : මානෙල් අක්කාගේ පාසලේ ඉන්දීය මිතුරියන් කිහිප දෙනෙකු විසින් ඇය වෙත මුදල් පරිත්‍යාගයක් ලබා දීම නිසා, සාජ්ජය අවසානයේ AED 3600 ක්ව තිබූ මුළු මුදල AED 3800 ක් දක්වා ඉහල ගිය බව සතුටින් දැනුම් දෙමි. මානෙල් අක්කා, තවත් මිතුරියන් කිහිප දෙනුකෙන්ම පරිත්‍යාග බලා පොරොත්තු වන බැවින් මේ අගය තව ඉහල යා හැකි බව සලකන්න. සාජ්ජයට සහභාගී නොවුනත්, මේ පරිත්‍යාග සම්භන්ධයෙන් මානෙල් අක්කාටත් ඇගේ ඉන්දීය මිතුරියන්ටත් අපගේ හද පිරි ස්තූතිය මේ අවස්ථාවේ පිරිනමමු.

මේ තාක් ලබා ඇති ප්‍රගතිය මෙතනින් දැන ගන්න.




එක්සත් අරාබි එමීරයේ "අපේ කට්ටිය" මිතුරු සංසදයේ තවත් ව්‍යාපෘතියක්.

Thursday, February 24, 2011

ඉලංගේ සවනට ජීවය දෙන්න.., එන්න එක්වන්න..!

මේ වන විටත් දිලුම් හෙවත් අපි කවුරුත් දන්නා ඉලංදාරියා ගේ සවන සුවපත් කරන්නට විවිධ කටයුතු වල නියැලිලා ඉන්න බව ඔන සියලු දෙනාම දන්නවා ඇති.., ඉතින් මේ සත්කාර්යයට සහයක් විදියට දිලුම්ගේ මිතුරන් විසින් බෙදා හැරීමේට ටිකට් පොත් මුද්‍රණය කර තිබෙනවා.., එහි එක පොතක, එකක් රුපියල් පනහක් බැගින් වූ ටිකට් පත් 20ක් එනම් රුපියක් 1000ක වටිනා කමකින් යුතු පොත් මේ වන විට ඔහුට ආධාර ලෙස විකිණීමට සූදානම් කර අවසන්.., කොළඹ ටිකට් පත් විකිණීම සම්බන්ධව කටයුතු කරන අභීත/අසේල/චමිල/රචින්ත/අසංක/වැප් යන සහෘදයන් විසින් මේ ටිකට් ව්‍යාපෘතියේ කොළඹ වැඩ කටයුතු සංවිධානය කරන අතර.., ඔවුන්ගෙන් විමසීමෙන් හෝ.., පහත පෝරමය පුරවා එවීමෙන් මේ මහඟු කර්තව්‍යට ඔබටත් එක්කාසු වෙන්නට පුලුවන්




මේ මහන්සිය අපේ කෙනෙකු ගොඩ දමන්නට අප විසින් කරන ව්‍යායාමයක එක් කුඩා අන්තයක් පමණයි.., ඉලං වෙනුවෙන් තවත් බොහෝදේ කරන්නට සැලසුම් සකස් කිරීම මේ වන විටත් අවසානයි.., එක්සත්ව එක්සිත්ව මේ තරුණයාගේ සවන පාදමු.., දිලුම්ගේ සවන්පතට ජීවය දෙමු..!
ස්තූතියි..!

ටිකටිපත් පිළිබඳ වැඩි විස්තර පහත දුරකතන අංක වලින් විමසන්න..!
0714449162 අභීත
0777389920 අසේල
0776988602 රචින්ත
0772207163 චමිල
0718689555 නිශාන්ත

Tuesday, February 22, 2011

දිලුම් වෙනුවෙන් ඩුබායි පැදුරු සාජ්ජ ව්‍යාපෘතිය - සාරාංශය

පහතින් සඳහන් වන්නේ මේ තාක් පැවති පැදුරු සාජ්ජයන්ගේ සාරාංශයයි. කහ පාට පසුබිමෙන් දැක්වෙන්නේ මේ වන විට කටයුතු යොදා ඇති ඉදිරියේදී පැවැත්වීමට යෝජිත පැදුරු සාජ්ජයන්ය.

ඉදිරියේදී පැවැත්වෙන සියළුම පැදුරු සාජ්ජයන්ගේ විස්තර මේ ලිපිය යටතේ සාරාංශ ගත කරනු ලැබේ.







එක්සත් අරාබි එමීරයේ "අපේ කට්ටිය" මිතුරු සංසදයේ තවත් ව්‍යාපෘතියක්.

Saturday, February 19, 2011

දිලුම් වෙනුවෙන් පැවති දෙවන පැදුරු සාජ්ජයද ඉතා සාර්ථකයි

පැදුරු සාජ්ජ්ය අංක 2
දිනය : පෙබරවාරි 18, 2011
ස්ථානය : ඩුබායි, රෂීඩියා හී, අජන්ත ප්‍රේමරත්න සහ එම මහත්මියගේ නිවස්නය.

එකතු වූ මුළු මුදල : AED 2000
රුපියල් අගය ( 19/02/2011 හුවමාරු අගය මත ) : Rs 60,368.63


අප වටා සිටින්නේ කෙතරම් සුන්දර මිනිසුන් පිරිසක්දැයි සොයා බැලීමට නම් ඔවුන්ගේ සිත් තුලට එබී බැලිය යුතුයි. තවෙකුගේ කඳුලක් වෙනුවෙන් උණුවන හදවත් ඇති, තවෙකෙකු අසරණ වී බිම වැටෙන විටදී දෝතින්ම ගෙන ඔවුන් ඔසවා තැබීමට දෙවරක් නොසිතන ඔවුන් වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම සැබෑ මිනිසුන්ම වෙයි. කිසිදාක මුණ නොගැසුනත්, අසරණ වී සිටින කිසියම් මිනිසෙකු වෙනුවෙන් මනුෂ්‍යත්වයේ නාමෙන්, තමන්ට හැකි උපරිමයෙන් දායක වන්නට ඔවුන්ගේ සිත් නැමෙන්නේ ඒ මිනිසත් බවටත් එහා ගිය ගුණාංගයක් නිසාමදෝ යැයි මට නම් සිතෙන්නේ.

මාත් මගේ සහෘද සංගීත කණ්ඩායම වන දර්ශන නාකන්දල, කින්ග්ස්ලි, චරිත් සහ දොන් කෞෂල්‍යය 18 වනදා එක් වූයේ දිලුම් වෙනුවෙන් පවත්වන්නට යෙදුනු දෙවන පැදුරු සාජ්ජය පවත්වන්නටය. දහසක් අනෙකුත් පුද්ගලික වගකීම් පසෙක ලා, වෙහසකාරි සතියක් අවසානයේ ලැබෙන සති අන්ත නිවාඩුව, තම පවුලේ දුවා දරුවන් වෙනුවෙන් කැප කරන්න තිබියදීත්, අසරණ වූ තරුණයෙකු වෙනුවෙන් කැප කරන මාගේ සහෘද සංගීත කණ්ඩායම වෙනුවෙන් මාගේ භක්ති පූර්වක ස්තූතිය පමණක් නොසෑහෙන බව නම් අනිවාර්යයෙන්ම පැවසිය යුතුයි.

පවත්වන්නට යෙදුනු දෙවන පැදුරු සාජ්ජයේ අපගේ නවාතැන වූයේ අති සුන්දර මිනිසෙකු වූ දයාබර අජන්ත ප්‍රේමරත්න සහ එම මහත්මියගේ සොඳුරු නිවහනයි. තමන්ගේ පස්චාත් උපාධි අපේක්ෂක සඟයන් අරබයා පැවති ඒ සුහද හමුව ඇත්තටම අති සුන්දර රාත්‍රියක් වූවා. ඉතාමත් ඉහල රසිකත්වයකින් පරි පූර්ණ වූ මේ සොඳුරු ශ්‍රී ලාංකිකයන් සැවොම සංගීතයත්, ගීතයත් උපරිම අයුරින් රස වින්දනය කරනු ලැබුවේ හරි හරියට අපත් සමග ගායනයටත් සහභාගී වෙමින්. මෙහෙදී අප හට හමු වූ සුවිශේෂී වූ පුදගලයෙකු වූයේ දයාන් විතාරණ ගායනා කරන "ඩැෆඩිල් මල" ගීතයේ නිර්මාතෘ වරියයි. නමින් නිලූෆා වන ඇය ගී නිර්මාණයට පමණක් නොව ගී ගායනයටත් එකසේ දක්ෂ බව පෙන්වා සිටියේ සියළුම දෙනා කුල්මත් කරමින් ඇය හඬ අවදි කල ගී තුලිනුයි. සියළු සිත් සන්තර්පණය කරමින් ගලා ගිය ගීත සැන්දෑව අතරතුර, දිලුම් වෙනුවෙන් කරනු ලැබූ සමාලෝචනයේදි ඔවුන් සැම තම කාරුණික හදවත් මේ උතුම් කාර්යය වෙනුවෙන් විවර කරනු ලැබුවා. අප සියළුම දෙනා ඉතාමත් කැපවීමෙන් මේ කරගෙන යනු ලබන කාර්යය ඉතාමත් පැසසුමට ලක්කල සියළුම දෙනා මේ අරමුදලට දායක වූයේ ඇතැම්විට තමන්ගේ පසුම්බියේ වූ අනිතිම ඩිරාමයද මුදල් එකතු කල මංජුසාවට දැමීමෙන්. එයින්ද නොනැවතුනු ඔවුන් අපට පොරොන්දු වී සිටියේ මේ පණිවිඩය මේ අවස්ථාවට සහභාගී වීමට නොහැකි වූ ඔවුන් දන්නා හඳුනන අනෙකුත් හිත මිතුරන්ටත් දැනුම් දී හැකි පමණ දායකත්වයක් මේ සඳහා ලබාගැනීමට උත්සාහ කරන බවය.

අති සාර්ථක වූ දෙවන පැදුරු සාජ්ජයද නිමාව සනිටුහන් කරනු ලැබුවේ ප්‍රථම සමාරම්භක පැදුරු සාජ්ජය මෙන්ම අතිශය තෘප්තිමත් වූ මනසක් අප තුල ඉතිරි කරමින්ය.

මෙවන් පැදුරු සාජ්ජ පවත්වන මෙන් දැන් අප හට සෑම අතින්ම ආරධනා ගලාගෙන එයි. දැන් අපට ඉතිරිවී ඇති ඊලඟ ගැටළුව නම් මේ සඳහා කාල වේලාවල් ලබාදීමයි. අපට සතියේ දිනවල මේ සඳහා යොදා ගැනීමට හැකියාවක් නැත්තේ රැය පහන් වනතුරු නිදි වරා පසු දින රාජකාරියට වාර්ථා කිරීමේදී ඇතිවන ගැටළුව නිසාත් අපගේ සංගීත කණ්ඩායමේ සමහරක් සාමාජිකයින් ඩුබායි නගරයට සැතපුම් සිය ගණනක් ඈත අනෙකුත් එමීරයන්හී වාසය කරන නිසාත්.

දිලුම් වෙනුවෙන් කරන අපගේ මීලඟ සංගීත සැන්දෑව ලබන 24වන දින රාත්‍රියේ ඩුබායි හි "අපේ කට්ටිය" සංසදයේ සහෘදයන් වෙනුවෙන් සරත් කුරුවිට ආරච්චි මහතා සහ මානෙල් කුරුවිට ආරච්චි මහත්මියගේ නිසේදී පැවැත්වීමට සියළුම කටයුතු යොදා අවසන්.

අපගේ ඉලක්කය නම් මෙවන් පැදුරු සාජ්ජ 10ක් පවත්වා මේ පැදුරු සාජ්ජ ව්‍යපෘතිය අවසන් කිරීමටයි. සති අන්තයේදී පමණක් යොදාගැනීමට ඇති හැකියාව නිසාත්, සමහරක් සති අන්තයන් අපගේ සාමාජිකයින් කලින් යොදා ගත් වැඩ රාජකාරි නිසා මග හැරෙන නිසාත් මෙම ව්‍යපෘතිය අවසන් කිරීමට අපට යම් කාලයක් ගත වේවී. නමුත් අප හට මේ ව්‍යපෘතිය ඉතා සාර්ථකව අවසන් කල හැකි බව නම්  අප තුල පිළිසිඳ ගෙන තිබෙන්නවූ දිරිමත් බව නිසාත් දැනට අත් ලබා ඇති ප්‍රථිඵල  මතත් සක් සුදක් සේ පැහැදිලියි.




එක්සත් අරාබි එමීරයේ "අපේ කට්ටිය" මිතුරු සංසදයේ තවත් ව්‍යාපෘතියක්.

තැපැල්පත් ව්‍යාපෘතිය | Post Card Project For Dilum

ලිව්වේ  LishWish

හැමෝම දන්නවා පෙබරවාරි 12 වෙනිදා විහාරමහාදේවි උයනේ දිලුම්ගේ සැත්කමේ ඉදිරි කටයුතු ගැන කතා කරන්නට අපේ අය ‍රැස් වූ වග.., ඉතින් මෙහිදී අනෙකුත් අදහස් අතරේ රූ තැපැල්පත්.., සිංහලෙන් කියනවා නම් picture post cards විකුණා මේ ඉදිර වැඩකටයුත්ත සඳහා මුදල් සොයමු යන මතයක් අපි අතර සම්මත වුණා.., ඉතින්., එහිදී මේ වැනි දෙයක් නිර්මාණය කරත්දී අපි මුලින් ම කලයුත්තේ අදාල බලාපොරොත්තුව සපල කරගන්නට නම් යම් මාතෘකාවකට අදාලව අපි එම නිර්මාණ කටයුත්ත ආරම්භ කිරීමයි..,

දිලුම්ගේ බලාපොරොත්තුවට ඉදිරියෙන් අපට ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම වැනි මාතෘකාවක් යොදා ගත්තා නම් එය අපිට අපි මුද්‍රණය කරන මේ තැපැල් පත් සියල්ල විකුණා ගන්නට අපේ ඉලක්කය වෙතට යන්න අමතර ජවයක් එක්කරාවි.., ඉතින් මේ නිසා ලංකාවේ සංචාරක කර්මාන්තයට අදාල වන ඔබ ගත් ඡායාරූපයක් ඔබ අත තියෙනවා නම්.., හෝ එවැනි ඡායාරූ ගත් අයෙකු ගෙන් ඔබට සේයාරූ ලබාගත හැකිනම් මේ වෙනුවෙන් ම හදන්නට යෙදුනු pcp.dilum@gmail.com ඊමේල් ලිපිනයට එවන්න.., අප අදාල සේයාරුවක් ‍තෝරා ගත්තේ නම් ඒ බව ඔබට දන්වන අතර.., තැපැල් පතේ ඡායාරූ ශිල්පියා ඔබ බව සඳහන් වනු ඇති..,

පහත තියෙන්නේ එහි අපි කරන්නට යන වැඩ පිළිවෙල ගැන සාරාංශයක්..!
01. රූප එකතු කිරීම
02. ඒ ඇසුරින් පෝස් කාඩ් ඩිසයින් කිරීම.
03. මුද්‍රණය සඳහා ලාභ දායක තැනක් සෙවීම.
04. මුද්‍රණය.
05. විකිණුම් සැලසුමක් සාදා බෙදා හැරීම.
06. මුදල් එකතු කිරීම.

මින් අංක 01 සහ 02 මේ වනවිටත් කෙරීගෙන යනවා.., ඒ අතරම අංක 03 සඳහා ලාභදායක තැනක් සොයමින් පවතිනවා.., ඉතින් ඔබ අතුරින් කවුරුන්හෝ ඉහත කාරණා වලින් එකක් පිළිබඳව හෝ විස්තර දනීනම් කරුණා කර පහතින් කොමෙන්ටුවක් හෝ pcp.dilum@gmail.com යන අපේ ඊමේල් ලිපිනයට ඒ බව දැනුම්දෙන්න..!
ජය!


දිලුම්ට ලොව අසන්නට අපි යන මේ ගමනේ පුන්‍යකර්මයකට අමතරව ඔබ සිරිලකේ නම මේ හරහා ඔබ ලොවට ගෙනියන්නට උදවුවනු ඇති..!
ජය..!

LishWish