Saturday, February 26, 2011

දිලුම් වෙනුවෙන් පැවති තෙවන පැදුර - මල් සුවඳද මිනිසුන් තරම්ම ?

පැදුරු සාජ්ජ්ය අංක 3
දිනය : පෙබරවාරි 24, 2011
ස්ථානය : සාජාහි, සරත් සහ මානෙල් කුරුවිට ආරච්චි දෙපළගේ සොඳුරු නිවස.
එකතු වූ මුළු මුදල : AED 3800
රුපියල් අගය ( 28/02/2011 හුවමාරු අගය මත ) : Rs 114,603.96

"මිනිසා සුවඳයි මලසේ......!" සුනිල් එදිරිසිංහයන්ගේ මේ ගීතයේ මේ පද පෙළ ඉතාමත්ම ලයාන්විතව මට හැඟෙන්නේත් දැනෙන්නේත් දැන් යැයි කියා මට සිතේ. එහෙත් "පරවී වැටිලා, ඒ මල මේ දෙරණේ..." යන පද පෙළට මම එකඟ නොවෙමි. එය එසේ නොවන බව මට සක්සුදක්සේ මගේ ඇස් ඉදිරියේම පැහැදිලි වෙමින් තිබෙන නිසාය. මා කොතරම් වාසනාවන්තයෙකුදැයි සිතෙන්නේ මේ නියම මිනිසුන්ගේ සැබෑ සුවඳ මේ දින කිහිපයේදී මා යෙහෙමින් විඳමින් සිටින නිසාය.

දොන් සරත් කුරුවිට ආරච්චි සහ මානෙල් කුරුවිට ආරච්චි යන සහෘදයන් අරාබි එමීරයට පා තබා තිබුනේ මීට දශක තුනකට පමණ පෙරය. එනම් ලංකාවෙන් ඩුබායි කරයට පා තැබූ මුල්ම ශ්‍රී ලාංකිකයන් අතර ඔවුන් පෙරමුණේ රාළලාය. ඉතාමත් සුන්දර, කාරුණික මිනිසුන් වන ඔවුන් දෙපලට අප ආමන්ත්‍රණය කරන්නේ, "සරත් අයියා සහ මානෙල් අක්කා" ආදරණීය වදනෙනි. ඒ ඔවුන් වචනයේ පරිසමාර්ථයෙන්ම ආදරණීය මිනිසුන් වන නිසාය. කතරේ ඉදිවූ ක්ෂේම භූමියක් බඳු නෙක මලින් සහ පලින් බර ඔවුන්ගේ ගෙවත්ත මට නිරතුරු සිහි ගන්වන්නේ ලංකාවේ සරුසාර ගෙවත්තකි. එහි පිපෙන ඵල දරන සෑම ගසක්ම සරත් අයියාගෙත්, මානෙල් අක්කාගෙත් දෑතින්ම සැලකුම් ලබා හැඩි දැඩි වූවන්ය. අප සහෘද හමුව වන "අපේ කට්ටිය" මිතුරු සංසදයේ මිතුරු හමුවීම් වලට නොවරදින නවාතැනක් වන්නේ ඔවුන් දෙදෙනාගේ සොඳුරු නිවහනයි. ඉදින් ඒ පියස නම් අපට කිසි දින ආගන්තුක නොවන්නකි.

දිලුම් වෙනුවෙන් ප්‍රථම පැදුරු සාජ්ජය සංවිධානය කරමින් ඉන්නා මොහොතක මා සරත් අයියාව ඇමතුවේ සාජ්ජය සඳහා ඔහු දන්නා හඳුනන අජ්මාන්හී පිහිටි "කලම්බෝ බේකරියෙන්" තැටි පාන් ලබා ගැනීම සඳහායි. දිලුම් ගේ විස්තරය සැකවින් ඔහු හමුවේ විස්තර කරමින් අපගේ පැදුරු සාජ්ජ ව්‍යාපෘතිය පිලිබඳ සංකල්පය ගැන හැඳින්වීමක් කෙරූ සැනකින්ම සරත් අයියා පැවසුවේ "මල්ලි, ඇයි අපේ ගෙදර එකක් තියන්නේ නැත්තෙ....?" කියායි. දිලුම් වෙනුවෙන් තෙවන පැදුරු සාජ්ජය සඳහා මුල්ම පිඹුරු පත සැකසෙන්නේ එසේය. කටු සටහන් ගැසූ එම පිඹුරු පත එතැන පටන් සම්පූර්ණ කිරීමේ බර අතට ගත්තේ "අපේ කට්ටිය" මිතුරු සංසදයේ පෙරමුණේ රාළ වන අපේ ජෝජ් අයියායි. ජෝජ් අයියා යමක් සංවිධානය කරන්නේ යම් සේද, එය කිසිදු ඇද අඩුපාඩුවක් නැතිව කරන්නේ අති විශිෂ්ඨ ලෙසින්ය.

දිලුම් වෙනුවෙන් තෙවන පැදුරු සාජ්ජය පැවැත්වූයේ, "අපේ කට්ටිය" මිතුරු සංසදයේ සහෘදයන් වෙනුවෙනුත්, සරත් මානෙල් යුවලගේ සමීපතයින් කිහිප දෙනෙකුත් වෙනුවෙන්ය. රාත්‍රී 9 යට පමණ පටන්ගෙන පාන්දර ජාමේ 3 වනතුරු පැවති සොඳුරු සමයට ශාස්ත්‍රීය, කැලිප්සෝ, වේග රිද්ම ගීත අඩුවක් නැතිව ගලා ගියේ සියළුම දෙනාගේ සිත් සතන් පිනා යන පරිදිය. සුපුරුදු ලෙසින්ම ගීත සැන්දෑව ගලා යන අතර තුර දිලුම් සම්භන්ධයෙන් පැමිණ සිටිය අයවළුන් සඳහා සමාලෝචනයක් කල අතර ඉන් පසුව පසෙකින් තබා තිබූ මුදල් මංජුසාව පිරී ගියේ ඉතා වේගයෙනි. මිනිසුන්ගේ සිත් කෙතරම් සුවඳ දැයි දැනෙන්නේ මෙවන් අවස්ථාවලය. කෙනෙකුගේ දුක්ඛ දෝමනස්සයන් හමුවේ තෙත් සිත් ඇත්තවුන්, තමන් දුක් මහන්සියෙන් සරි කරගත් මුදලින් කොටසක් නන්නාදුනන මිනිසෙකුගේ කඳුලක් පිසලෑම සඳහා නොමසුරුව පරිත්‍යාග කරන ලදී.


මාර්තු 24 වන දින අපගේ දයාබර මානෙල් අක්කාගේ උපන්දිනයයි. එවන් දිනයක් දිලුම් වෙනුවෙන් කැප කිරීමම මානෙල් අක්කාවත්, සරත් අයියාවත් අගය කල යුතු දෙයක් නොවන්නේද ? මානෙල් අක්කාගේ උපන්දිනය ගැන දැන සාජ්ජයට පැමිනියවුන්ට ඇය පවසා සිටියේ තමන් වෙනුවෙන් උපන්දින තෑගි රැගෙන නො එන ලෙසත්, තමා වෙනුවෙන් දිය හැකි හොඳම තෑග්ග නම් දිලුම්ගේ අරමුදල මුදලක් පරිත්‍යාග කිරීමත් යන්නය. එයින් නොනැවතුන ඇය, එදින උදෑසන තමන් රැකියාව කරන පාසලේදි ඇයගේ මිතුරන් ඇය වෙනුවෙන් සංවිධානය කල උපන්දින සාදයේදීත් ආයාචනය කර තිබුනේ මේ කර්තව්‍යයට මුදල් පරිත්‍යාග කරන ලෙසය.ඉදින් එසේ සාජ්ජය ආරම්භ වීමටත් පෙර මානෙල් අක්කා වෙත ලැබුනු ඩිරාම් 700 ක ( රුපියල් 21 000) මුදලක් ඇය විසින් මංජුසාවට දැමීමට තරම් ඇය කාරුණික විය. දයාබර මානෙල් අක්කාට මුළු හදවතින්ම සුභම සුභ උපන්දිනයක් පතන අතර මේ පැදුරු සාජ්ජය ඇයට කිසිදින අමතක නොවන උපන්දින තෑග්ගක් වනවා නොඅනුමානය.

ඉලන්දාරියා පවසා තිබූ අයුරින්ම අපගේ ජීවිත නම් ඉතාම පුදුමාකාරයි. පැදුරු සාජ්ජය ආරම්භ වීමට හෝරා කිහිපයක්ට කලින් අප සවනත වැකුනු ඉතාමත් දුක්ඛදායී ආරන්චියකින් අප සැවොම සැලී ගියා. ඒ නම් "අපේ කට්ටිය" සහෘද සංසදයේ අප අතර සිටින සොඳුරු මිනිසෙකු සහ ප්‍රතිභා පූර්ණ ගායකයෙකු වන ආනන්දලාල් පෙරේරා සොයුරාගේ එක කුස හොත් සොයුරියගේ අභාවයයි. ප්‍රථම සාජ්ජ දෙකටම නොවැලක්විය හේතු මත සහභාගී වීමට නොහැකිව, තෙවන සාජ්ජයේදී ගී ගායනයට ඉතා ඕනෑකමින් බලා සිටි ඔහු, අපේ අන්නන්ද අයියා මේ අවසනාවන්ත පුවතින් තැලී ගිය සිතින් කඳුළු වගුරවමින් ඉන්නා මොහොතකයි, අපිට ඉලන්දාරියා වෙනුවෙන් කල යුතු වූ මේ මහඟු කාර්ය්‍යය කිරීමට සිදුවූයේ.ඉතාමත් කාරුණික හදවතක් සතුවූ සිටි චාලට් පෙරේරා සොයුරිය, එක්සත් අරාබි එමීරයන් සප්තකයෙන් එක් එමීරයක් වන ෆුජෙයිරා හී ඔටුන්න හිමි කුමරුවන්ගේ ආයම්මා ලෙස ෆුජෙයිරා මාලිගයේ ඔහුව රැක බලාගත්තාය. මින් කාලයකට පෙරදී මොලයේ හටගත් ගෙඩියක් හේතුවෙන් සැත්කමක් කිරීමෙන් පසුව කාලයක් එක් තැන්ව සිටි ඇය ඊයේ සවස සදහටම ඇස් පියාගෙන සිටියාය. අප සියළුම දෙනාට දයාබර සොයුරියක්ව සිටි ඇයට මෝක්ෂ සුවය අත්වේවා යැයි මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරමි.

මේ සියළුම දුක්ඛ දෝමනස්සයන් මැද වුවද, මා වටා සිටින සහෘදයන් කැලගේ කැපවීම සහ ත්‍යාගශීලී බව නිසාම, මේ පැදුරු සාජ්ජ කර්තව්‍යය ඉතාමත් සාර්ථකව ඉදිරියට යමින් පවතී. එයම අප සැමට ගෙන එන්නේ පස්වනක් ප්‍රීතියක් නොවන්නේද ?





ප.ලි : මානෙල් අක්කාගේ පාසලේ ඉන්දීය මිතුරියන් කිහිප දෙනෙකු විසින් ඇය වෙත මුදල් පරිත්‍යාගයක් ලබා දීම නිසා, සාජ්ජය අවසානයේ AED 3600 ක්ව තිබූ මුළු මුදල AED 3800 ක් දක්වා ඉහල ගිය බව සතුටින් දැනුම් දෙමි. මානෙල් අක්කා, තවත් මිතුරියන් කිහිප දෙනුකෙන්ම පරිත්‍යාග බලා පොරොත්තු වන බැවින් මේ අගය තව ඉහල යා හැකි බව සලකන්න. සාජ්ජයට සහභාගී නොවුනත්, මේ පරිත්‍යාග සම්භන්ධයෙන් මානෙල් අක්කාටත් ඇගේ ඉන්දීය මිතුරියන්ටත් අපගේ හද පිරි ස්තූතිය මේ අවස්ථාවේ පිරිනමමු.

මේ තාක් ලබා ඇති ප්‍රගතිය මෙතනින් දැන ගන්න.




එක්සත් අරාබි එමීරයේ "අපේ කට්ටිය" මිතුරු සංසදයේ තවත් ව්‍යාපෘතියක්.

Thursday, February 24, 2011

ඉලංගේ සවනට ජීවය දෙන්න.., එන්න එක්වන්න..!

මේ වන විටත් දිලුම් හෙවත් අපි කවුරුත් දන්නා ඉලංදාරියා ගේ සවන සුවපත් කරන්නට විවිධ කටයුතු වල නියැලිලා ඉන්න බව ඔන සියලු දෙනාම දන්නවා ඇති.., ඉතින් මේ සත්කාර්යයට සහයක් විදියට දිලුම්ගේ මිතුරන් විසින් බෙදා හැරීමේට ටිකට් පොත් මුද්‍රණය කර තිබෙනවා.., එහි එක පොතක, එකක් රුපියල් පනහක් බැගින් වූ ටිකට් පත් 20ක් එනම් රුපියක් 1000ක වටිනා කමකින් යුතු පොත් මේ වන විට ඔහුට ආධාර ලෙස විකිණීමට සූදානම් කර අවසන්.., කොළඹ ටිකට් පත් විකිණීම සම්බන්ධව කටයුතු කරන අභීත/අසේල/චමිල/රචින්ත/අසංක/වැප් යන සහෘදයන් විසින් මේ ටිකට් ව්‍යාපෘතියේ කොළඹ වැඩ කටයුතු සංවිධානය කරන අතර.., ඔවුන්ගෙන් විමසීමෙන් හෝ.., පහත පෝරමය පුරවා එවීමෙන් මේ මහඟු කර්තව්‍යට ඔබටත් එක්කාසු වෙන්නට පුලුවන්




මේ මහන්සිය අපේ කෙනෙකු ගොඩ දමන්නට අප විසින් කරන ව්‍යායාමයක එක් කුඩා අන්තයක් පමණයි.., ඉලං වෙනුවෙන් තවත් බොහෝදේ කරන්නට සැලසුම් සකස් කිරීම මේ වන විටත් අවසානයි.., එක්සත්ව එක්සිත්ව මේ තරුණයාගේ සවන පාදමු.., දිලුම්ගේ සවන්පතට ජීවය දෙමු..!
ස්තූතියි..!

ටිකටිපත් පිළිබඳ වැඩි විස්තර පහත දුරකතන අංක වලින් විමසන්න..!
0714449162 අභීත
0777389920 අසේල
0776988602 රචින්ත
0772207163 චමිල
0718689555 නිශාන්ත

Tuesday, February 22, 2011

දිලුම් වෙනුවෙන් ඩුබායි පැදුරු සාජ්ජ ව්‍යාපෘතිය - සාරාංශය

පහතින් සඳහන් වන්නේ මේ තාක් පැවති පැදුරු සාජ්ජයන්ගේ සාරාංශයයි. කහ පාට පසුබිමෙන් දැක්වෙන්නේ මේ වන විට කටයුතු යොදා ඇති ඉදිරියේදී පැවැත්වීමට යෝජිත පැදුරු සාජ්ජයන්ය.

ඉදිරියේදී පැවැත්වෙන සියළුම පැදුරු සාජ්ජයන්ගේ විස්තර මේ ලිපිය යටතේ සාරාංශ ගත කරනු ලැබේ.







එක්සත් අරාබි එමීරයේ "අපේ කට්ටිය" මිතුරු සංසදයේ තවත් ව්‍යාපෘතියක්.

Saturday, February 19, 2011

දිලුම් වෙනුවෙන් පැවති දෙවන පැදුරු සාජ්ජයද ඉතා සාර්ථකයි

පැදුරු සාජ්ජ්ය අංක 2
දිනය : පෙබරවාරි 18, 2011
ස්ථානය : ඩුබායි, රෂීඩියා හී, අජන්ත ප්‍රේමරත්න සහ එම මහත්මියගේ නිවස්නය.

එකතු වූ මුළු මුදල : AED 2000
රුපියල් අගය ( 19/02/2011 හුවමාරු අගය මත ) : Rs 60,368.63


අප වටා සිටින්නේ කෙතරම් සුන්දර මිනිසුන් පිරිසක්දැයි සොයා බැලීමට නම් ඔවුන්ගේ සිත් තුලට එබී බැලිය යුතුයි. තවෙකුගේ කඳුලක් වෙනුවෙන් උණුවන හදවත් ඇති, තවෙකෙකු අසරණ වී බිම වැටෙන විටදී දෝතින්ම ගෙන ඔවුන් ඔසවා තැබීමට දෙවරක් නොසිතන ඔවුන් වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම සැබෑ මිනිසුන්ම වෙයි. කිසිදාක මුණ නොගැසුනත්, අසරණ වී සිටින කිසියම් මිනිසෙකු වෙනුවෙන් මනුෂ්‍යත්වයේ නාමෙන්, තමන්ට හැකි උපරිමයෙන් දායක වන්නට ඔවුන්ගේ සිත් නැමෙන්නේ ඒ මිනිසත් බවටත් එහා ගිය ගුණාංගයක් නිසාමදෝ යැයි මට නම් සිතෙන්නේ.

මාත් මගේ සහෘද සංගීත කණ්ඩායම වන දර්ශන නාකන්දල, කින්ග්ස්ලි, චරිත් සහ දොන් කෞෂල්‍යය 18 වනදා එක් වූයේ දිලුම් වෙනුවෙන් පවත්වන්නට යෙදුනු දෙවන පැදුරු සාජ්ජය පවත්වන්නටය. දහසක් අනෙකුත් පුද්ගලික වගකීම් පසෙක ලා, වෙහසකාරි සතියක් අවසානයේ ලැබෙන සති අන්ත නිවාඩුව, තම පවුලේ දුවා දරුවන් වෙනුවෙන් කැප කරන්න තිබියදීත්, අසරණ වූ තරුණයෙකු වෙනුවෙන් කැප කරන මාගේ සහෘද සංගීත කණ්ඩායම වෙනුවෙන් මාගේ භක්ති පූර්වක ස්තූතිය පමණක් නොසෑහෙන බව නම් අනිවාර්යයෙන්ම පැවසිය යුතුයි.

පවත්වන්නට යෙදුනු දෙවන පැදුරු සාජ්ජයේ අපගේ නවාතැන වූයේ අති සුන්දර මිනිසෙකු වූ දයාබර අජන්ත ප්‍රේමරත්න සහ එම මහත්මියගේ සොඳුරු නිවහනයි. තමන්ගේ පස්චාත් උපාධි අපේක්ෂක සඟයන් අරබයා පැවති ඒ සුහද හමුව ඇත්තටම අති සුන්දර රාත්‍රියක් වූවා. ඉතාමත් ඉහල රසිකත්වයකින් පරි පූර්ණ වූ මේ සොඳුරු ශ්‍රී ලාංකිකයන් සැවොම සංගීතයත්, ගීතයත් උපරිම අයුරින් රස වින්දනය කරනු ලැබුවේ හරි හරියට අපත් සමග ගායනයටත් සහභාගී වෙමින්. මෙහෙදී අප හට හමු වූ සුවිශේෂී වූ පුදගලයෙකු වූයේ දයාන් විතාරණ ගායනා කරන "ඩැෆඩිල් මල" ගීතයේ නිර්මාතෘ වරියයි. නමින් නිලූෆා වන ඇය ගී නිර්මාණයට පමණක් නොව ගී ගායනයටත් එකසේ දක්ෂ බව පෙන්වා සිටියේ සියළුම දෙනා කුල්මත් කරමින් ඇය හඬ අවදි කල ගී තුලිනුයි. සියළු සිත් සන්තර්පණය කරමින් ගලා ගිය ගීත සැන්දෑව අතරතුර, දිලුම් වෙනුවෙන් කරනු ලැබූ සමාලෝචනයේදි ඔවුන් සැම තම කාරුණික හදවත් මේ උතුම් කාර්යය වෙනුවෙන් විවර කරනු ලැබුවා. අප සියළුම දෙනා ඉතාමත් කැපවීමෙන් මේ කරගෙන යනු ලබන කාර්යය ඉතාමත් පැසසුමට ලක්කල සියළුම දෙනා මේ අරමුදලට දායක වූයේ ඇතැම්විට තමන්ගේ පසුම්බියේ වූ අනිතිම ඩිරාමයද මුදල් එකතු කල මංජුසාවට දැමීමෙන්. එයින්ද නොනැවතුනු ඔවුන් අපට පොරොන්දු වී සිටියේ මේ පණිවිඩය මේ අවස්ථාවට සහභාගී වීමට නොහැකි වූ ඔවුන් දන්නා හඳුනන අනෙකුත් හිත මිතුරන්ටත් දැනුම් දී හැකි පමණ දායකත්වයක් මේ සඳහා ලබාගැනීමට උත්සාහ කරන බවය.

අති සාර්ථක වූ දෙවන පැදුරු සාජ්ජයද නිමාව සනිටුහන් කරනු ලැබුවේ ප්‍රථම සමාරම්භක පැදුරු සාජ්ජය මෙන්ම අතිශය තෘප්තිමත් වූ මනසක් අප තුල ඉතිරි කරමින්ය.

මෙවන් පැදුරු සාජ්ජ පවත්වන මෙන් දැන් අප හට සෑම අතින්ම ආරධනා ගලාගෙන එයි. දැන් අපට ඉතිරිවී ඇති ඊලඟ ගැටළුව නම් මේ සඳහා කාල වේලාවල් ලබාදීමයි. අපට සතියේ දිනවල මේ සඳහා යොදා ගැනීමට හැකියාවක් නැත්තේ රැය පහන් වනතුරු නිදි වරා පසු දින රාජකාරියට වාර්ථා කිරීමේදී ඇතිවන ගැටළුව නිසාත් අපගේ සංගීත කණ්ඩායමේ සමහරක් සාමාජිකයින් ඩුබායි නගරයට සැතපුම් සිය ගණනක් ඈත අනෙකුත් එමීරයන්හී වාසය කරන නිසාත්.

දිලුම් වෙනුවෙන් කරන අපගේ මීලඟ සංගීත සැන්දෑව ලබන 24වන දින රාත්‍රියේ ඩුබායි හි "අපේ කට්ටිය" සංසදයේ සහෘදයන් වෙනුවෙන් සරත් කුරුවිට ආරච්චි මහතා සහ මානෙල් කුරුවිට ආරච්චි මහත්මියගේ නිසේදී පැවැත්වීමට සියළුම කටයුතු යොදා අවසන්.

අපගේ ඉලක්කය නම් මෙවන් පැදුරු සාජ්ජ 10ක් පවත්වා මේ පැදුරු සාජ්ජ ව්‍යපෘතිය අවසන් කිරීමටයි. සති අන්තයේදී පමණක් යොදාගැනීමට ඇති හැකියාව නිසාත්, සමහරක් සති අන්තයන් අපගේ සාමාජිකයින් කලින් යොදා ගත් වැඩ රාජකාරි නිසා මග හැරෙන නිසාත් මෙම ව්‍යපෘතිය අවසන් කිරීමට අපට යම් කාලයක් ගත වේවී. නමුත් අප හට මේ ව්‍යපෘතිය ඉතා සාර්ථකව අවසන් කල හැකි බව නම්  අප තුල පිළිසිඳ ගෙන තිබෙන්නවූ දිරිමත් බව නිසාත් දැනට අත් ලබා ඇති ප්‍රථිඵල  මතත් සක් සුදක් සේ පැහැදිලියි.




එක්සත් අරාබි එමීරයේ "අපේ කට්ටිය" මිතුරු සංසදයේ තවත් ව්‍යාපෘතියක්.

තැපැල්පත් ව්‍යාපෘතිය | Post Card Project For Dilum

ලිව්වේ  LishWish

හැමෝම දන්නවා පෙබරවාරි 12 වෙනිදා විහාරමහාදේවි උයනේ දිලුම්ගේ සැත්කමේ ඉදිරි කටයුතු ගැන කතා කරන්නට අපේ අය ‍රැස් වූ වග.., ඉතින් මෙහිදී අනෙකුත් අදහස් අතරේ රූ තැපැල්පත්.., සිංහලෙන් කියනවා නම් picture post cards විකුණා මේ ඉදිර වැඩකටයුත්ත සඳහා මුදල් සොයමු යන මතයක් අපි අතර සම්මත වුණා.., ඉතින්., එහිදී මේ වැනි දෙයක් නිර්මාණය කරත්දී අපි මුලින් ම කලයුත්තේ අදාල බලාපොරොත්තුව සපල කරගන්නට නම් යම් මාතෘකාවකට අදාලව අපි එම නිර්මාණ කටයුත්ත ආරම්භ කිරීමයි..,

දිලුම්ගේ බලාපොරොත්තුවට ඉදිරියෙන් අපට ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම වැනි මාතෘකාවක් යොදා ගත්තා නම් එය අපිට අපි මුද්‍රණය කරන මේ තැපැල් පත් සියල්ල විකුණා ගන්නට අපේ ඉලක්කය වෙතට යන්න අමතර ජවයක් එක්කරාවි.., ඉතින් මේ නිසා ලංකාවේ සංචාරක කර්මාන්තයට අදාල වන ඔබ ගත් ඡායාරූපයක් ඔබ අත තියෙනවා නම්.., හෝ එවැනි ඡායාරූ ගත් අයෙකු ගෙන් ඔබට සේයාරූ ලබාගත හැකිනම් මේ වෙනුවෙන් ම හදන්නට යෙදුනු pcp.dilum@gmail.com ඊමේල් ලිපිනයට එවන්න.., අප අදාල සේයාරුවක් ‍තෝරා ගත්තේ නම් ඒ බව ඔබට දන්වන අතර.., තැපැල් පතේ ඡායාරූ ශිල්පියා ඔබ බව සඳහන් වනු ඇති..,

පහත තියෙන්නේ එහි අපි කරන්නට යන වැඩ පිළිවෙල ගැන සාරාංශයක්..!
01. රූප එකතු කිරීම
02. ඒ ඇසුරින් පෝස් කාඩ් ඩිසයින් කිරීම.
03. මුද්‍රණය සඳහා ලාභ දායක තැනක් සෙවීම.
04. මුද්‍රණය.
05. විකිණුම් සැලසුමක් සාදා බෙදා හැරීම.
06. මුදල් එකතු කිරීම.

මින් අංක 01 සහ 02 මේ වනවිටත් කෙරීගෙන යනවා.., ඒ අතරම අංක 03 සඳහා ලාභදායක තැනක් සොයමින් පවතිනවා.., ඉතින් ඔබ අතුරින් කවුරුන්හෝ ඉහත කාරණා වලින් එකක් පිළිබඳව හෝ විස්තර දනීනම් කරුණා කර පහතින් කොමෙන්ටුවක් හෝ pcp.dilum@gmail.com යන අපේ ඊමේල් ලිපිනයට ඒ බව දැනුම්දෙන්න..!
ජය!


දිලුම්ට ලොව අසන්නට අපි යන මේ ගමනේ පුන්‍යකර්මයකට අමතරව ඔබ සිරිලකේ නම මේ හරහා ඔබ ලොවට ගෙනියන්නට උදවුවනු ඇති..!
ජය..!

LishWish

Thursday, February 17, 2011

ප්‍රථම පැදුරු සාජ්ජය - තෘප්තිමත් සාර්ථකත්වය



පැදුරු සාජ්ජ්ය අංක 1
දිනය : පෙබරවාරි 16, 2011
ස්ථානය : ඩුබායි, ගිසර්ස්, ලාලිත වීරරත්න සහ එම මහත්මියගේ නිවස්නය
එකතු වූ මුළු මුදල : AED 1870
රුපියල් අගය ( 17/02/2011 හුවමාරු අගය මත ) : Rs 56,397.31

තවෙකුගේ දුක්ඛ දෝමනස්සයන් හමුවේ අප සිත් කම්පා වන්නේත්, නෙතට කඳුලක් උණන්නේත් අප හුදෙක් මිනිසුන් වූ නිසාමද ? එසේ නොමැති නම් අප හුදෙක් මිනිසුන් නිසා පමණක් නොව සුවිශේෂී වූ ලාංකීය මිනිසුන් වූ නිසාද ? තීරණය ඔබට බාර කරමි.

හදවත් තෙත් වූ එවන් සොඳුරු ශ්‍රී ලාංකීය මිනිසුන් රැසක් එකට එක්වූයේ තම දිවිය තුල කිසිදා මුණ නොගැසුණු, කතා බස් නොකෙරූ තවත් එක් මිනිසෙකුගේ නෙත රැන්දූ කඳුළු බිඳුවක් හැකි පමණ පිස ලෑමට දායක වන්නටය.

දිලුම් වෙනුවෙන් පැවැත්වූ ප්‍රථම පැදුරු සාජ්ජයේ නිමාව සනිටුහන් වූයේ ඒ සොඳුරු මිනිසුන් තම දාහය සරි කරගත් අස්වැන්නෙන් හැකි පමණින් කොටසක්, තව මිනිසෙකුගේ කඳුලක් පිස ලෑම සඳහා දායක කරලීමෙන්.

දිලුම්ගේ ශල්‍යකර්මය සඳහා හරවත් දායකත්වයක් සැපයිය හැකි,උපරිම මුදලක් එකතු කල හැකි ක්‍රමයක් ගැන මමත් දුකාත් සාකච්චා කලේ නොයෙකුත් කාරණා සැලකිල්ලට ගනිමින්. කල හැකිව තිබූ ලේසිම දෙය නම් තනි තනිව අපට ලබාදිය හැකි මුදලක් දිලුම්ගේ ගිණුමට බැර කොට අපගේ වගකීම ඉටු කෙරුවා යැයි සිත් සනසා අත පිස ගැනීමය. නමුත් තව පියවරක් ඉදිරියට තැබුවේ නම් අපගේ හිතවත් මිතුරන්ගෙනුත් දිලුම් වෙනුවෙන් යම් උපකාරයක් ලබා ගත හැකි වේ යැයි අපහට හැඟී ගිය කාරණයයි.
නමුත් අපගේ මිතුරන්ගේ පමණක් නොව,අපට මේ තාක් මුණ නොගැසුනු මිතුරන්ගේ මිතුරන් සහ හිතවතුන්ගෙනුත් මුණ ගැසී ඔවුනගේත් දායකත්වයත් ලබා ගැනීම සඳහා අපගේ පරිමාව, අපගේ කාර්ය බහුල දින චරියාව තුල කලමණාකරණය කර ගත හැකි හොඳම ව්‍යාපෘතිය ලෙස අප හට හැඟී ගියේ මේ පැදුරු සාජ්ජ සංකල්පයයි. යම් මිතුරෙකුගේ නිවසක පැදුරු සාජ්ජයක් පවත්වා, එම මිතුරාගේ මිතරන් හටත් ආරාධනය කර, සහභාගී වන්නන් සඳහා යමක් ලබාදී, ඒ වෙනුවෙන් යම් මුදලක් දිලුම් වෙනුවෙන් ලබාදෙන ලෙස ඉල්ලා සිටීමෙන්, හුදෙක් යම් මුදලක් එකතු කිරීම පමණක් නොව ඔවුන් වෙත යම් වින්දනයක්ද ලබාදී මේ සද්කාර්යය සම්පූර්ණ කර ගැනීමයි අපගේ සංකල්පය වූයේ.




ප්‍රථම වතාවට මෙවන් කාරයකට අත ගැසීමේදී මෙය සාර්ථක වේදෝ නොවේදෝ යන දෙගිඩියාවක් ඇති වීම අරුමයක් වන්නේ නෑ. නමුත් ඉතාමත් සාර්ථක වූ ප්‍රථම පැදුරු සාජ්ජය අවසානයේදී අතිශය තෘප්තිමත් සහ ධෛර්ය්‍ය සම්පණ්ණ මනසක් අප සතු වූවේ අප ඉදිරියේ ඇති අභියෝගය අපහට ජයගත හැකියැයි මොනවට පැහැදිලි වූ නිසායි.


මේ කාර්ය්‍ය තනිව සිදු කල හැකි එකක් නෙවෙයි. ප්‍රථමයෙන් මාගේ සහෘද සංගීත කණ්ඩායම ගැන මතක් කල යුත්තේ ගෞරවාන්විත ස්තූතියකින්. වෙහසකාරී දවසක් අවසාණයේ, අරාබි එමීරයන්ගේ සැතපුම් සිය ගණන් ගෙවා පැමිණ සියළුම කැප කිරීම් කරමින්, තම තමන්ගේ පුද්ගලික ගැටළු සහ ජීවන අරගලය මොහොතකට අමතක කර මේ කාර්ය්‍යයට සම්භන්ධ වීමම ඔවුන් තුල මිනිසත් කමටත් එහා ගිය ගුණාංගයක් ඇතැයි මට නම් නිරතුරුවම සිතෙන්නක්.


අපගේ මේ ව්‍යයාමය තුල සුවිශේෂී වූ එක් පුද්ගලයෙක් ගැන සඳහනක් නොවුනොත් මේ සටහන අසම්පූර්‍ණ එකක් වෙයි. ඔහු නම් අපගේ පෙරමුණේ රාළ ලෙස ඉදිරියෙන් සිටිමින්, තමන්ගේ පරිණත ජීවිත අත්දැකීම් ගුරුකොට නිරතුරුවම අප දිරිමත් කරමින්, අඩු පාඩු පෙන්වා ඒවා හරියාකාරව පෙළ ගැසීමට නිරතුරුවම තම දායකත්වය ලබාදෙන ජෝජ් හෙට්ටිආරච්චි මහතා, එසේ නොමැති නම් අපගේ ආදර ජෝජ් අයියා.පැදුරු සාජ්ජ්ය අතර පැමිණ සිටියවුන් අමතා, අප විසින් සිදු කරන මේ ක්‍රියාවේ අරමුණ පැහැදිලි කරමින් ඔහු විසින් කරනා ලද කතාව සියළුම දෙනාගේ පැසසුමට ලක්වූවා.





මේ ප්‍රථම පැදුරු සාජ්ජය මේ සාර්ථකත්වය කරා රැගෙන යෑමට නොපැකිලිව තම නිවස ලබා දුන් අප මිතුරු ලාලිත වීරරත්න මහතා සහ එම මහත්මියත්, සංවිධාන කටයුතු ඉතා මැනවින් සිදු කල සුනන්ද කාරියකරවන, රෝෂන් හමීඩ්, කණිශ්ක සමරනායක, ක්‍රිෂාන් ඉන්දක සහ චන්දන රොද්‍රිගූ යන මහත් වරුන් දුන් දායකත්වය මනෙහි කරන්නේ ඉතාමත් ස්තූති පූර්වකව. අවසානයේ මේ සාජ්ජයට සහභාගී වී තම දායකත්වය දිලුම් වෙනුවෙන් ලබා දුන් සියළුම සහෘදයන් හටත් අපගේ ගෞරවාන්විත ස්තූතිය.


පැදුරු සාජ්ජයට සහභාගී වී දායකත්වය සැපයූ සහ, සහභාගී වීමට නොහැකිවූවත් තම දායකත්වය සැපයූ සියළුම සහෘදයන්ගේ විස්තර මේ ලිපියටම සම්බන්ධ කර පසුව පළ කරන බව දන්වා සිටිනවා. මේ ආකාරයට ඉදිරියේ පැවැත්වෙන්නාවූ සියළුම සාජ්ජයන්ගේද දායක වූවන්ගේ විස්තරද පළ කිරීමට සිතා සිටිනවා.













දිලුම් වෙනුවෙන් පැවති ප්‍රථම පැදුරු සාජ්ජයේදි පටිගත කරන ලද ගීත කීපයක්.












එක්සත් අරාබි එමීරයේ "අපේ කට්ටිය" මිතුරු සංසදයේ තවත් ව්‍යාපෘතියක්.

Tuesday, February 15, 2011

දිලුම් වෙනුවෙන් ප්‍රථම පැදුරු සාජ්ජය

"දිලුම් වෙනුවෙන් අපි" ව්‍යාපෘතියේ සැලසුමේ (Project Plan)  11 වන කාර්‍යය සාධනය  (Work break down) වන, එක්සත් අරාබි එමීරයේ පැවැත්වීමට යෝජිත පැදුරු සාජ්ජ පෙළෙහි පළවන පැදුරු සාජ්ජය, මා මීට පෙර රැකියාව කල "එමිරේට්ස් ගුවන් සමාගමේ පරිගණයක අංශයේ" (Emirates Group IT) සේවයේ නියුතු මිතුරන් උදෙසා අප මිතුරු "ලාලිත වීරරත්න" මහතාගේ නිවසේ පෙබරවාරි 16 වන දින, පැවැත්වෙන බව සතුටින් දැනුම් දෙමු.

ඉතාමත් කාර්ය බහුල ජීවිත ගත කරන අපගේ දාහය නිවන සොඳුරු මොහොතක් සනිටුහන් කරන ගමන්ම, අප සොයුරු දිළුම්ගේ සවනත පැදීමේ මහණ්‍ය පුණ්‍ය කරමයටත් දායක වීමට 30 දෙනෙකුගේ පමණ සහභාගීත්වයක් මේ වනවිට තහවරු කරල තියෙනවා.

මවුබිමෙන් පිට රුදු කතරේ රාජකාරී කරන අප සැම ඉතාමත්ම යාන්ත්‍රික වී තිබෙන බව අමුතුවෙන් කිව යුතු නෑ. බොහෝ විට උදයේ ඉර නැගීමටත් පෙර නිවසින් එළියට බසින අප බොහෝ දෙනා නැවත නිවෙස් කර ලඟා වෙන්නෙ ඉර බැස ගොසිනුත් හෝරා කිහිපයක් ගත වීමෙන් අනතුරුව තමයි. බහුතරයක් අපට යම් අස් වැසිල්ලක් ලැබෙනුයේ සති අන්තයේදී පමණයි. ලංකාව තරම් නිවාඩු දින නොමැති අරාබි එමීරයේ සති අන්තයට අමතරව ලැබෙන නිවාඩු දින තිබෙන්නේ එක් අතක ඇඟිලි වලින් ගණන් කරන්න හැකි ගණනක්. එවන් නිවාඩු දිනක් මහමුද් තුමාගේ උපන්දිනය වෙනුවෙන් 17 වෙනිදාට යෙදී තිබෙනවා. ඒ අවස්ථාව ප්‍රොයෝජනයට ගෙන තමයි මේ පැදුරු සාජ්ජය 16 වනිදා රාත්‍රියේ පැවැත්වීමට ලහි ලහියේ කටයුතු සම්පාධනය කලේ.


මේ පැදුරු සාජ්ජය පැවැත්වීමට හේතුව අප සහභාගී වන මිතුරන්ට පැහැදිලිව දන්වා තිබෙනවා. අප මෙහිදී සහභාගී වන්නන්ගෙන් බලාපොරොත්තු වන්නේ අප සපයන සංගීතය සහ ගායනා කෙරෙන ගීත වල හුවමාරුවට දිලුම් වෙනුවෙන් මූල්‍යමය උපකාරයක්. ඒ සම්මාදම ඔවුනට ඉදිරියේ තබා තිබෙන මංජුසාවකට දැමිය හැකියි. සාජ්ජය අවසානයට පෙර සියළු දෙනාගේම ඉදිරියේ එකතු වූ මුදල ගණන් කිරීමෙන් අනතුරුව එහි අන්තිම ඩිරාමය දක්වා අප මේ අඩවියේ පළ කරනවා. එසේම පවත්වන්නට යෙදෙන අනිකුත් පැදුරු සාජ්ජ වල සම්මාදම් මුදලද පැවැත්වූ දිනය, ස්ථානය සමගම මේ අඩවියේ සටහන් කිරීමට අදහස් කරගෙන සිටිනවා. සියළුම දෙනාටම දැනගත හැකි විනිවිද භාවයකින් යුතුව මේ සද්කාර්ය කිරීමට අප සියළුම උත්සාහයන්ම යොදන බව වග කීමකින් යුතුව ප්‍රකාශ කරන්න කැමතියි.


සහභාගී වන්නන්හට පහසුකම් සැලසීමට අප එකතුවන මුදලින් එකදු ඩිරාමයක්වත් යොදා ගන්නේ නෑ. සාජ්ජයට අවශ්‍ය කෑම බීම සියල්ල සහභාගී වන්නන් විසින් රැගෙන එනවා ඇති. කෑම සඳහා තැටි පාන්, පරිප්පු සමග පොල් සම්බෝලද, මදු විත සඳහා ගෙවල් වල ඉතිරිවී තිබෙන "කොට" කෑලිද සහභාගී වන්නන් විසින් රැගෙන එනවා ඇති.


මේ තාක් දුරට ප්‍රථම පැදුරු සාජ්ජය යතාර්ථයක්  කරගැනීමෙහිලා සියළු බර කර මත තබාගෙන සංවිධාන කටයුතු කල ලාලිත වීරරත්න මහතා, සුනන්ද කාරියකරවන මහතා, රෝෂන් හමීඩ් මහතා, කණිෂ්ක සමරනායක මහතා ඇතුළු නම් සඳන් කිරීමට නොහැකිවූ සියළුම සහෘදයන් වෙත මාගේ කෘතඥ්ඥ පූර්ව ස්තූතිය මේ අවස්ථාවේ පුද කරන්න කැමතියි.

මෙයට අමතරව එළඹෙන ඊලඟ සති අන්තයේ එටිසලාට් සමාගමේ සේවයේ නියුතු ලාංකීය මිතුරන් වෙනුවෙන් පැදුරක් සංවිධානය කිරීමට අපගේ තවත් මිතුරෙක් ඉදිරිපත් වී සිටිනවා. මෙවන් පැදුරු සාජ්ජ කිහිපයකින් අප බලාපොරොත්තු වනවා සැලකිය යුතු මුදලක් දිළුම් වෙනුවෙන් අකතු කර ගැනීමට අපට හැකි වේවී කියා.


රුදුරු රළ විසින් දහසක් තාරකා මාළුන් ගොඩ ගසන මෙකල, එක් තාරකා මාළුවෙකුගේ ජීවිතයේ හෝ වෙනසක් ඇති කිරීමටයි අපගේ මේ කැප වීම.




එක්සත් අරාබි එමීරයේ "අපේ කට්ටිය" මිතුරු සංසදයේ තවත් ව්‍යාපෘතියක්.