Sunday, April 3, 2011

දිලුම් වෙනුවෙන් පැවති සිව්වන සංගීත සාජ්ජය - ඩෙසර්ට් කබ්ස් සොඳුරු රාත්‍රිය

පැදුරු සාජ්ජ්ය අංක 4
දිනය : මාර්තු 31, 2011
ස්ථානය : ඩෙසර්ට් කබ්ස් ක්‍රිකට් පුහුණු පාසලේ සුහද හමුව, සිටි සීසන් හෝටලය, ඩේරා, ඩුබායි
එකතු වූ මුළු මුදල : AED 3900
රුපියල් අගය ( 03/04/2011 හුවමාරු අගය මත ) : 117,194.32 LKR


සුන්දර මිනිසෙකු පමණක් නොව සොඳුරු කළාකාමියෙකුද වන ප්‍රෙස්ලි පොලොන්නෝවිට මහතා ප්‍රධාන පුහුණු කාරීතවය දරන ඩෙසර්ට් කබ්ස්  ක්‍රිකට් ක්‍රීඩා පුහුණු පාසල අද දින වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අංකුර ක්‍රිකට් ක්‍රීඩකයින් ප්‍රවීනයන් බවට පත් කිරීමේ මහඟු කාර්ය‍යේ යෙදී සිටින ප්‍රමුඛතම ක්‍රිකට් ක්‍රීඩා පුහුණු පාසලයි. එක්සත් අරාබි එමීරයේ පමණක් නොව මුළු මහත් අරාබිකරයේම අංකුර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ තෝතැන්න බවට අද දින පත්වී තිබෙන්නේත් ඩෙසර්ට් කබ්ස් ක්‍රිකට් ක්‍රීඩා පුහුණු පාසලයි.

පාසල ප්‍රථමයෙන්ම ආරම්භ කරන ලද්දේ අදින් සිව් වසරකට පෙර එනම් 2007 දී ක්‍රීඩකයින් 8 දෙනෙකුගෙනි. ආරම්භයේදී සම්පූර්ණ ලාංකීය ස්වරූපයක් ගැණුනු මේ ක්‍රීඩා පාසලට එම නම වැටුනේද "කාන්තාරයේ සිංහ පැටව්" යන තේරුම රැගත් ‘ඩෙසර්ට් කබ්ස්’ යන නම යෙදීමෙනි. ඉතාමත් කෘතහස්ථ ක්‍රිකට් පුහුණු කරුවෙකු වන ප්‍රෙස්ලි සිව් වසරක් තුලදී ලබාගත් කීර්තිය නිසාම අද වන විට සිය ගණනක් වූ ලාංකීය පමණක් නොව, ඉන්දියානු සහ පකිස්තානු ක්‍රීඩකයින් සහ සහාය පුහුණු කරුවන් රැසක් සමග ඉතාම දිග ගමනක් යෑමට පිඹුරුපත් සකසා හමාරය. එම සාර්ථකත්වයේ එක් සුවිශේෂී කඩ ඉමක් සටහන් කල, පසු ගියදා නිමාවට පැවති අවුරුදු 15න් පහල "නිසාන් ගල්ෆ් කප්" කුසලානය හිමි කර ගන්නා ලද්දේ "ඩෙසර්ට් කබ්ස්" ක්‍රිකට් ක්‍රීඩා පුහුණු පාසල් කණ්ඩායමයි.  එම ජයග්‍රහණයේ සතුට භුක්ති විඳීම සඳහා මාර්තු මස 31 වනදා පැවති සුහද හමුවට සහභාගී වීමට තරම් අපද වාසනාවන්ත වුනෙමු. එම සුහද හමුව රසවත් කිරීම සඳහා ප්‍රෙස්ලි විසින් අප හට ආරාධනය කරන ලද්දේ අප මේ දිනවල දිලුම් වෙනුවෙන් යෙදී සිටින පැදුරු සාජ්ජ ව්‍යාපෘතිය ගැන කණ වැකී තිබූ නිසාවෙන්ය. වෘතීය මට්ටමේ සංගීතඤ්ඥයන් නොවන අප වැනි සංගීත කණ්ඩායමකට වඩා වෘතීය මට්ටමේ වූ ගායන හා වාදක කණ්ඩායමක් සහභාගී කර ගැනීමට ඉහටත් උඩින් හැකියාව තිබූ ප්‍රෙස්ලි, අප හට එම අවස්ථාව උදා කර දෙන ලද්දේ අපගේ මේ මහඟු කාර්ය්‍යය සාර්ථක කරගැනීම සඳහා සුහද අත හිත දීමක් ලෙසිනි. අපගේ අනේක වාරයක් ස්තූතිය ඔහු වෙත පිරිනැමෙන්නේද ඒ නිසාවෙනි.

දිලුම් වෙනුවෙන් අප මේ තාක් පැවැත්වූ පැදුරු සාජ්ජයන්ට වඩා මෙම ප්‍රියසාදය සුවිශේෂ වන්නේ කාරණා කීපයක් නිසාය. ප්‍රථමයෙන්ම මෙය "පැදුරු සාජ්ජයක්" නොවීමත් සහ අප ඉදිරියේ අසුන් ගෙන සිටියේ හුදෙක් ශ්‍රී ලාංකිකයන් පමණක් නොවීමත් නිසාය. මම පෙර සඳහන් කලාක් මෙන් සාදයට සහභාගී වූවන් අතර ශ්‍රී ලාංකිකයන්ට අමතරව ඉන්දියානු සහ පකිස්තානු ජාතිකයන්ද රැසක් සිටියහ.ඉදින් අප මේ තාක් පැවැත් වූ පැදුරු සාජ්ජයන්ට වඩා වෙනස් රාමුවක් තුල හිඳිමින් ගායනය සහ වාදනයේ යෙදෙන්නට අප හට සිදු වී තිබුනි. විශේෂයෙන්ම හිංදි ගීත කිහිපයකුත්, ඉංග්‍රීසි ගීතත් ගායනය සහ වාදනය කරන මෙන් ප්‍රෙස්ලි විසින් අපගෙන් කාරුණිකව ඉල්ලා සිටින ලද්දේ පැමිණෙන සෑම දෙනෙකුටම රස වින්දනය කල හැකි පරිසරයක් නිර්මාණය කිරීම සඳහාමය.

ප්‍රධාන පෙළේ ක්‍රිකට් පුහුණු කරුවෙකුගේ දක්ශතාවය පමණක් නොව ඉතාමත්ම වෘතීය මට්ටමේ ගීත ගායනයකට උචිත හඬකුත් හිමි ප්‍රෙස්ලි පැමින සිටියවුන් අමන්නානන්දයට පත් කලේ ඉතාමත් අගනා ගායනයක් ඉදිරි පත් කිරීමෙනි. ඒ අතරට ඩෙසර්ට් කබ්ස් ක්‍රිකට් පුහුණු පාසල් පවුලේම සාමාජික සාමාජිකාවන් වන සංජීව, ශෂිනි, ලෝචනා සහ කොලින්ස් ද ගීත ගායනයට එක් වෙමින් අප හට මහඟු සහායක් දැක්වූයේ එම රාත්‍රිය අති වර්ණවත් කරමිනි.
දිලුම්ගේ පණිවිඩය පැමින සිටියවුන්ට ගෙන යන ලද්දේද ප්‍රෙස්ලි විසින්මය. අපගේ පෙරමුණේ රාල ලෙස අප සැමදාමත් හඳුන්වන ජෝජ් අයියා විසින් සිංහලෙන් පූර්ව කථනයක්ද දර්ශණ විසින් ඉංග්‍රීසි පූර්ව කථනයක්ද කලේ අපගේ මේ ව්‍යායාමය ගැන පැහැදිලි කරමින් සහ මේ තාක් අප ලබා ඇති ප්‍රගතිය සමාලෝචනය කිරීමෙනි. ඉන් පසු එළඹි හෝරාවේදී වෙනදා මෙන්ම මුදල් මංජුසාව පිරී ගියේ ඉතාමත් වේගයෙනි.  තවෙකෙකුගේ දුකක් දෝමනස්සයක් හමුවේ උණුවෙන හදවතකින් සපිරි පැමින සිටි සියළුම ලාංකීය, ඉන්දියානු සහ පකිස්තානු ජාතිකයින් කිසිදු බේදයකින් තොරවම දිලුම්ගේ ශල්‍යකර්මය වෙනුවෙන් මුදල් පරිත්‍යාග ලබාදෙන ලදී. සාදය අවසනදී මුදල් මංජුසාව තුල එකතුවී තිබූ මුදල් ප්‍රමාණය ඩිරාම් 2800 කි. ඒ අතරට ප්‍රෙස්ලි විසින් ක්‍රිකට් පාසල වෙනුවෙන් දිලුම්ගේ ශල්‍යකර්මය උදෙසා ඩිරාම් 1000 ක මුදලක් පරිත්‍යාග කරන ලද්දෙන් එම සැඳෑවේදී දිලුම් වෙනුවෙන් එකතු වූ මුලු මුදල ඩිරාම් 3800 කි.  ප්‍රෙස්ලි පොලොන්නෝවිට මහතා සහ ඩෙසර්ට් කබ්ස් ක්‍රිකට් පුහුණු පාසලටත් දිලුම් වෙනුවෙන් නොමසුරු පරිත්‍යාග කල සියළුම සහෘදයන්ටත් අපගේ අති මහත් කෘතඥ්ඥ බව මේ අවස්තාවේදී පිලිගැන්විය යුතුයි.

මේ සුහද හමුව සඳහා සූදානම් වීමට අපහට ලැබී තිබුනේ සතියකටත් වඩා අඩු කාල සීමාවකි. ඒ අතරට අළුතෙන්ම හිංදි ගීත සහ ඉංග්‍රීසි ගීත පුහුණුවකුත් අප හට කිරීමට සිදුවූ තිබූ නිසා සතිය තුල පුහුණුවීම් වාර දෙකක් පැවැත්වීමට අපහට සිදු විය. මාගේ සහෘද සංගීත කණ්ඩායම අති වෙහෙසකාරි දවසක් අවසානයෙදී රාත්‍රී 8 පමණ සිට රාත්‍රී 1, 2 වන තුරු පුහුණුවීම් කරන ලද්දේ නැවතත් පහුවෙනිදා හිමිදිරි උදෑසන රාජකාරියට වාර්ථා කිරීමට තිබියදීය. විශේෂයෙන්ම කෘතවේදීව සිහිපත් කලයුතු කාරණාව නම් අපගේ මිතුරු රජීව්, කොර්ෆකාන් සිට කිලෝමීටර් 200 ක් පමන දුර ගෙවා රාත්‍රී පුහුණුවීම් වලට පැමිනීමත් නැවතත් එම රාත්‍රියේම ඔහු රාජකාරී කරන කොර්ෆකාන් වෙත යෑමත් කිසිම පැකිලීමකින් තොරවම සිනා මුසු මුහුනින් විඳ දරා ගැනීමත්ය.  ඒ අතරතුර දයාබරව සිහිපත් කල යුතු වන්නේ කුඩා දියණියන් දෙදෙනෙකුගේ වැඩ රාජකාරි තිබියදීත් අපගේ පුහුණුවීම් සිදුකල දිනයන්හී අපගේ තබ්ලා වාදක දර්ශන සොයුරා සහ ඔහුගේ ආදර බිරිඳ ෂෙනාලි අප වෙනුවෙන් රස මසුවලින් කල සංග්‍රහ සත්කාරයන්ය. අපගේ නිත්‍ය බේස් ගිටාර් වාදක කින්ග්ස්ලි මේ දිනවල ලංකාවේ නිවාඩුව ගත කරන බැවින් ඒ අඩුව පිරවීමට අප හා එකතු වූ, ලංකාවේ කීර්තිමත් "බෝගොඩ" සංගීත පරම්පරාවේම පුරුකක් වන බානු බෝගොඩ සහෘදයානන්ටද මේ අවස්තාවේදී අපගේ කෘතවේදීත්වය පිරිනැමිය යුතුය. බ්‍රහස්පතින්දා සුපුරුදු කාර්ය බහුල දිනයක් ගෙවා දමා, අබුඩාබි නගරයේ සිට කිලෝමීටර සිය ගණනක් දුර ගෙවා පැමිණ සාදය ආරම්භවීමට ප්‍රථම අප හා එක් වන්නට බානු ගත් උත්සාහය ඉතාමත් ප්‍රශංසනීයයි. මේ සද්කාරයට සම්භන්ධ වීමෙන් ඔවුනට ලැබෙනුයේ තව මිනිසෙකුට පිහිට වීමෙන් ලැබෙන ආත්ම තෘප්තිය පමණි. ඉදින්ම එය අගය කල යුතු නොවේද ?

 
තවත් මතක් කල යුතු කරුණක් වන්නේ මින් සති කීපයකට පෙර සිසේරියන් සැත්කමකින් අපේ කැදැල්ලට සපැමිණි කිරි කැටි දියණියගේ කටයුතුද, සැත්කම නිසා විඳින අනේක විදි අපහසුතාවයන්ද දරාගනිමින්, වැඩ ඇරී ගෙදර පැමිණි මොහොතේ සිට ගිටාරය අතටගෙන ගීත පුහුණුවීම් සහ සංගීත ප්‍රස්ථාර කටයුතු උදෙසා කාලය මිඩංගු කරන, මාගෙන් විය යුතු යම් යම් කටයුතු අතපසු වීම් සෙනෙහේ සිතින් විඳ දරා ගනිමින් නිරතුරුවම මාව දිරිමත් කරන මගේ ආදරණීය බිරිඳගේ සහයෝගය නොමතිවුවේ නම් මේ තාක් පැමිණි ගමන් මග හුදෙක් සිහිනයක්ම වන්නට තිබුනි. ඇය වෙත මාගේ හද පිරි ආදර ස්තූතිය නිතැතින්ම හිමි විය යුතු නොවේද ?


එනමුදු කෙතරම් වෙහසාකාරී වුවද දිලුම් වෙනුවෙන් වූ අපගේ මේ ව්‍යාපෘතිය මේ තාක් ලබා ඇති අති සාර්ථක ප්‍රගතිය විඳීම සහ අපගේ සියළුම කැපවීම් වල මල්ඵල ගැන්වීමම අප සැම දෙනා දිරිමත් කරමින් ඉදිරියටම යෑමට අවශ්‍ය ජවය සපයයි.



මේ තාක් ලබා ඇති ප්‍රගතිය මෙතනින් බලන්න.

ප.ලි:සාජ්ජයට සහභාගී වූ අයෙකු පසුව ලබා දුන් ඩිරාම් 100 ක මුදලත් සමග, සාදය අවසානයේ ඩිරාම් 3800 වූ මුදල ඩිරාම් 3900 දක්වා ඉහල ගොස් ඇති බව කරුණාවෙන් සලකන්න.


එක්සත් අරාබි එමීරයේ "අපේ කට්ටිය" මිතුරු සංසදයේ තවත් ව්‍යාපෘතියක්.