Wednesday, January 18, 2012

අවසානයේ අපි ජයග්‍රහණය කළෙමු...



දිළුම් වෙනුවෙන් ගොඩ නැගුනු සයිබරයේ පිනෙන් පිරුණු අරමුණක අවසානය වෙත අපි ලඟා වූයෙමු.... ජෙරූශා නම් දැරියගේ කර්ණ ශංඛ බද්ධයේ සැත්කම අද ඉතා සාර්ථකව අවසන් වූ බව ඇයගේ ආදරණීය මව මීට මොහොතකට කලින් අප සමග පැවසුවාය....


එපමනක් නොව ඇයගේ දියණියගේ නෑසෙන සවනතට හඬ ලබාදීමට එකතු වූ සැමට ඇයගේ මෙන්ම පවුලේ ස්තූතිය පුද කලාය... ඒ හැමට පින් ප්‍රාර්ථනා කලාය...


සිකුරාදා වනතුරු ජෙරූශා දැරිය පේරාදෙණිය ලමා රෝහලේ හතරවන වාට්ටුවේ ඇය වෙනුවෙන් සකසා ඇති විශේෂිත කාමරයක රඳී සිටිනු ඇති... ඔබ ඒ අවටනම්, එහි ගොස් ඇයට ශක්තියක් වී පැමිනෙන්නට හැකිනම්, අප එය මහමෙරක් තරම් අගය කරමු...


වැඩි විස්තර සහ ඡායාරූප ලඟදීම බලාපොරොත්තු වෙන්න..


ඔබ හැමට පින් සිද්ධ වේවා....


ශ්‍රී ලාංකීය සයිබරය එකාවන්ව එකතුව කල මෙම සද්කාර්යය මගේය, අපේය, ඔබේය.... එම නිසා මෙම බ්ලොග් ලිපිය ඔබේ බ්ලොගයේ පල කර අපගේ ශක්තිය ලොවට කියාපෑම පිළිබඳව අපගේ කිසිදු විරුද්ධත්වයක් නැත.

Monday, January 9, 2012

ඉලංදාරියා සහ ජෙරූෂා . . .!



ඊයේ බොහෝම සතුටු දවසක්.

ගිය අවුරුද්දේ ජනවාරි 26දා ඉලන්දාරියගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් තියෙනවා ගිහින් බලපන් කියලා තිසා කිව්වේ.

එදා ගෙදර ගිය ගමන් නදීෂත් කිව්වේ ඒ පෝස්ට් එක ගැන.

පහුවදා උදේම මගේ පරන ඔෆ්ෆිස් එකේදි ජනක මල්ලිත් එක්ක කතාබහ කරලා දුමීටත් කෝල් කරලා ඉලංදාරියට අපි උදව් කරන්න ඕන කියලා මගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දාලා අදට අවූරුද්දකට කිට්ටුයි.

මේ කාලේ ඇතුලත කොයි තරම් දේවල් සිද්ද වුනාද?

බ්ලොග්ස් කියවන, නොකියවන හැමදෙනාම ඉලංදාරියගේ පෝස්ට් එකයි, අනිත් බ්ලොග් පෝස්ටුයි දැක්ක ගමන් ඉලංදාරියගේ එකවුන්ට් එකට සල්ලි යැව්වා.

දුමීලා (දුමී, රජීව්, දර්ෂන, කින්චා, චරිත්, කෞෂි, භානු සහ අපේ කට්ටිය සංවිධානයේ තව ගොඩක් අය ) රෑ දවල් නිදි මරාගෙන පැදුරු සාජ්ජ දැම්මා ඉලංදාරියගේ ඔපරේෂන් එකට සල්ලි හොයන්න.

ටැබූ, සුපුන්, බින්කු එකතු වෙලා පේපෑල් ගිනුමකට මුදල් එකතු කලා.

අභීත මූලිකත්වය අරගෙන සයිබර් ෆෙස්ටිවල් අවුරුදු උත්සවයක් තිබ්බා.

පුතා(වරුණ), මම, ලිෂා, ඩී, රචියා, චමිල, පැතුම් එකතු වෙලා පින්තූර පෝස්ට් කාඩ් ගැහුවා.

ඉලංදාරියගේ පාසැල් මිතුරෝ ටිකට් පොත් ගහලා බ්ලොග් මිතුරෝ හවුල් කරගෙන ඒවා විකුනලා සල්ලි එකතු කලා.

එකතු වෙන සල්ලි තැන්පත් කරන්න ප්‍රියන්ත, ඉලංදාරියා, ඩීප්ස් එකතු වෙලා ජොයින්ට් එකවුන්ට් එකක් හැදුවා.

මේ සියලුම දේ කරමින් ඉන්නා අතරතුර ඔලුවේ පොඩි ගෙඩියකට කරපු ඔපරේෂන් එකෙන් අපේ දයාබර ඉලංදාරියා මියගියා.



බ්ලොග් සහෘදයෝ බොහෝ දෙනෙක් මල ගෙදර ගියා.

ඔහුට පින් පතා පිලිකා රෝහලට පවා දාන මානාදිය දුන්නා.

එකතු කල මුදල් ගැන වැඩි දෙනාගේ අදහස උනේ ඒ මුදල් ඉලංදාරියගේම ජාතියේ කර්ණාබාධයක් තියෙන කෙනෙක් හොයලා දෙමු කියන එකයි.

ජෙරූෂා ගැන අභීතට දැනගන්න ලැබිලා ගිහින් විස්තර හොයල බලලා සත්‍යතාව පැහැදිලි කර ගත්තාට පස්සේ හැමෝම එකඟ උනා ඒ වන විට එකතු කල මුදල් අවුරුදු 9ක් උනු ජෙරූෂගේ ඔපරේෂන් එකට දෙන්න.


ඉලංදාරියා මිය ගියා කියලා නවත්වන්නේ නැතුව දුමීලා පැදුරුපාර්ටි දිගටම කරගෙන ගියා ජෙරූෂගේ ඔපරේෂන් එකට සල්ලි එකතු කරන්න.


අපේ කට්ටිය මිතුරු සංසදයේ රජීව් ප්‍රනාන්දු මහතා අභීත එදිරිසිංහ සොයුරා සමග ජෙරූෂලගේ ගෙදර ගිහින් විස්තර සොයා බලා එයින් නොනැවතී දොස්තරවරු මුණ ගැසී සාකච්ඡා කර, මුලදී Rs 23,00,000/ යැයි මිල නියම කරන ලද ශ්‍රවණ උපකරණය හා Rs 18,00,000/= ට මිල නියම කරන ලද ශ්‍රවණ උපකරණය හා සමාන බව ඔවුන් වෙතින් සහතික කරවා ගත්තා. උපකරණය මිලදී ගෙන දුන්නොත් ශල්‍යය කර්මය ඇතුළු ඉතුරු අවශ්‍යය කටයුතු  රෝහලින් අය කිරීමකින් තොරව කරමින් වෛද්‍යවරයා ඒ වගකීම ගන්නා බවටත් ප්‍රතිඥ්ඥා දී තිබුනා.

ඩුබායි සහ එමීර් රාජ්‍යයේ අපේ කට්ටිය මිතුරු සංසදයේ රජීව් ප්‍රනාන්දු මහතා ජෙරූෂා දියණියගේ මවට, ජෙරූෂාගේ ශල්‍යකර්මය වෙනුවෙන් පැදුරු සාජ්ජ වලින් එකතු කල මුදල් ලබා දෙන බවට සහතික කල ලිපිය ලබා දුන් මොහොත.

 
මෙඩිකොන් කියල අයතනයකින් ලක්ෂ 18 (Rs 18,00,000)කට   ඒ උපකරණය ලබා ගන්න ඔවුන් සහතික කරගෙන තිබුනා.


ලක්ෂ Rs 18,00,000/= න්  ලක්ෂ 3ක් ජනාධිපති අරමුදලින් ලැබෙනවා කියා සහතිකයක් ලැබුනා. එතකොට ඕන කරන මුදල ලක්ෂ 15යි. (Rs 15,00,000/=)


මේ ලක්ෂ 15න් ජෙරූෂගේ පවුලේ අය මහන්සි වී ලක්ෂ 4ක මුදලක් සොයාගෙන තිබුනා.



දැන් මදි පාඩුව ලක්ෂ 11යි.


කෙලින්ම දිලුම්ගේ එකවුන්ට් එකටදාපු සල්ලි සහ පස්සේ ජොයින්ට් එකවුන්ට් එකද දාපු සල්ලි මේ ඔක්කෝම 307,000/= වෙලා තිබ්බා.


මේකෙන් Rs 20,000/= ක් ඉලංදාරියගේ අවමන්ගල්‍යය සඳහා  පවුලේ අයට ලබා දුන්නා. ඉතුරු මුදල 2,87,000/=.


මුලින්ම මෙඩිකොන් ආයතනයට අත්තිකාරමක් ගෙව්වෙ මේ මුදලින් Rs 100,000/= ක් අරගෙනයි.  (මේ අත්තිකාරම් මුදල තැන්පත් කරන ලද්දේ ජෙරූශාගේ දෙමව්පියන් ඔවුන් එකතු කල  Rs 400,000 මුදල මෙඩිකොන් වෙත තැන්පත් කරන්නට පෙරයි. )



ඉතුරු Rs 1,87,000/= ඒ වන විට පොලිය සමග  Rs 190,158/= ක් වෙලා.ඒ මුදලත් රැගෙන පසුව මෙඩිකොන් ආයතනයේ තැන්පත් කලා.




දැන් අවශ්‍ය කරන මුදල Rs 8,10,000/=


දුමීලගේ පැදුරු පාර්ටි වලින් ඒ වෙනකොට එකතු වී තිබූ Dhs 16,325 සහ මදි පාඩුව සකස් කර (ඒ වන විට රුපියල් වලින් එකතු වී තිබුනේ Rs 489750/= ) Rs 500,000/= ක් මෙඩිකොන් ආයතනයේ තැන්පත් කලා.

( එම මුදල තැන්පත් කල දිනට පසු පැවති අවසාන පැදුරු සාජ්ජයේදි (ප්‍රමාණ සමීක්ෂකවරුන්ගේ සුහද හමුව)  තවත් Dhs 1930/=ක් එකතු වී පැදුරු සාජ්ජ වලින් එකතු කල මුළු මුදල Dhs 18,255ක් උනා. )


එම මුදල තැන්පත් තැන්පත් කල පසුව අවශ්‍ය කරන මුදල Rs 3,10,000/=


පැදුරු පාර්ටි වලින් එකතු කරපු Dhs18,255න් ලක්ෂ 5ක් යවන්න Dhs 16,865ක් වියදම් වෙලා තිබ්බා.



පින්තූර පෝස්ට් කාඩ් වලින් ඩුබායි වලින් එකතු කල මුදල Rs 27,900යි.
(සුරාජ්ගේ මිතුරන්                -    Dhs 500
 මනෝජ්ගේ මිතුරන්             -   Dhs 300
 දුමීගේ ඔෆිස් එකේ මිතුරන්   -   Dhs 130 
                                            =  Dhs 930 x 30 [Dhs1 = Rs 30 ] --> Rs 27,900)

18,255න් 16,865ක් අඩු උනාම ඉතුරු මුදල ඩිරාහ්ම්ස් 1,390යි පින්තූර පෝස්ට් කාඩ් වල මුදල ඩිරාහ්ම්ස් 930 එකතුව 2,320 ඒ කියන්නේ (2,320 x 30 = 69,600) වෙනුවෙන් Rs 70,000/= ක් තැන්පත් කලා.



මේ රිසිට් එකේ Rs 70,000/= වෙනුවට Rs 72,100/= ක් කියලා සඳහන් වෙන්නේ ක්‍රෙඩිට් කාර්ඩ් එකකින් ගෙවපු නිසා අය කරපු අමතර මුදලට.


ඒ Rs 70,000 න් පසුව අවශ්‍ය කරන මුදල Rs 2,40,000/=


2011 සැප්තැම්බර් 15 වෙනිදා ඩුබායි වල තිබුනු ප්‍රමාන සමීක්ෂකවරුන්ගේ මධ්‍ය ගිම්හාන පැදුරු පාර්ටියේ සංගීත කටයුතු සියල්ල සිදු කලේ දුමීලගේ සංගීත කණ්ඩායමෙන්.


එහිදී අපි ඔවුන්ට වෙත ඉදිරිපත් කර සිටියා දිලුම් සහ ජෙරූෂාගේ කතාව.


එය අසා සිටි ඩුබයිහි ප්‍රමාන සමීක්ෂක ආයතනයක් හිමි අයිවන් සෝවිස් මහතා පැවසුවා "පුතාලා ඒ ඔපරේෂන් එකට මෙතනින් එකතු උනාට පස්සේ මදි ගාන කීයද? ඒ ගාන මම දෙන්නම්" කියා.


ඊයේ මමයි දුමීයි ගියා අයිවන් සෝවිස් මහත්මයාව මුන ගැහෙන්න. කෙටි කතා බහකින් ඒ මහතා පසුව මම පිලියෙල කර කලින් ඊ-මේල් මඟින් යැවූ ජෙරූෂා ව්‍යාපෘතියේ තත්ව සමාලෝචන වාර්ථාවේ පිටපත් බලා ඒ මොහොතේම අදාල අවෂ්‍ය කරන මුදල වූ Rs 2,40,000/= වෙනුවෙන් Dhs 7,686/= ක චෙක් පතක් ලබා දුන්නා.




සාරාංසයක් ලෙස ගතහොත්


ජනාධිපති අරමුදලින් ලැබෙන මුදල             = Rs 300,000.00
ජෙරූෂගේ පවුලේ අය එකතු කල මුදල       = Rs 400,000.00
ඉලංදාරියගේ ගිනුමට එකතු වූ මුදල            = Rs 290,000.00
පැදුරු පාර්ටි වලින් එකතු වූ මුදල                = Rs 542,350.00
පින්තූර පෝස්ට් කාඩ් වලින් එකතු වූ මුදල  = Rs 27,900.00
අයිවන් සෝවිස් මහතා ලබා දුන් මුදල        = Rs 240,000.00
මුළු එකතුව                                              = Rs 1,800,250.00


ඉතින් ඔන්න අපි හැමෝම සද්භාවයෙන් පටන් ගත්තු වැඩේ නිමා කරන්න අපිට පුලුවන් වෙලා තියෙනවා.

අන්තර්ජාලය ඔස්සේ දැන අඳුනා ගත් මනුස්සකම් හඳුනන මිනිස් පිරිසක් රුපියල් ලක්ෂ 11ක මුදලක් එකතු කරනවා කියන්නේ අති විශාල කර්තව්‍යක්.


මේ ඉලක්ක මේ ලෙස සපුරා ගන්න පුලුවන් උනේ හැමදෙනාගේම මනුස්සකම සහ තව කෙනෙක් වෙනුවෙන් තමන්ගෙන් කෙරෙන්න ඕන යුතුකමක් ඉටු කරන්න ඕන කියන මානුෂීය හැඟීම මිසක් වෙන කිසි දෙයක් නෙමෙයි.


එහෙනම් මේ සද්කාරියට සුලුවෙන් හෝ මහා පරිමාණයෙන් හෝ දායක උනු ඔබ හැමදෙනාටම පින්.

මේ ලිපියෙනුත් මේ සමඟ අමුනා ඇති බිල්පත්, මුදල් තැනපත් සහතිකපත් ආදියෙනුත් මේ කාරිය සඳහා එකතු වුනු සියළු දෙනා ඉහල විනිවිදභාවයකින් යුතුව මේ කාරිය සිදුකල බව ඔබ සැමට සහතික වනු ඇති කියා මා සිතනවා.


කිසියම් කෙනෙකුට කුමක් හෝ පැහැදිලි කර ගත යුතු දෙයක් තිබෙනවනම් පහල කොමෙන්ට් තීරුව මඟින් හෝ, අපව පුද්ගලිකව දන්නා හඳුනන කෙනෙක් නම් දුරකථන මඟින් කර ගත හැකි බවත් දන්වන්නේ සතුටින්.

අපි ආයේ ත් මේ වගේ පුන්‍යකර්ම ව්‍යාපෘතියකින් හමුවෙමු.