Monday, January 31, 2011

සිංහල බ්ලොග් අවකාශය හා නව උප සංස්කෘතිය

සහෘදයා අඩවියේ 29-01-2011 දින පල කල ලිපියයි මේ.

සිංහල බ්ලොග් අවකාශය හා නව උප සංස්කෘතිය

සිංහල බ්ලොග් අවකාශය යනු තවත් එක් සයිබර් නාඩගමක් නොවේය. ලිපි, නිර්මාණ, ගද්‍ය පද්‍ය හා විද්‍යා තාක්ෂණ පබැදුම් වලින් එහාට ගිය අපූර්ව සුන්දර ස්ථානයකි. එය ලිපි, නිර්මාණ, ගද්‍ය පද්‍ය හා විද්‍යා තාක්ෂණ පබැදුම් නම් බීජ වගුරුවා මිනිස්කම අවංක කම ලබැදිකම මිතුරු කම ඵලදාවන් ලෙස නෙලා ගන්නා වූ සාරවත් ගෙවත්තකි. එම ඵලදාවන් සාරවත් ඵලදාවන් බවට පත් කරගැනීමට ගූගල් බස් නම් කාබනික පොහොර හේතුකාරකයක් වෙමින් පවතී. උපන් දා සිට මුහුනට මුහුණ ඇසුරු කරන්නා වූ මිතුරන්ට නෑදෑයන්ට වඩා සීමාවන් පසු කරන්නාවූ ලෙංගතු කම් ඇති කරන්නාවූ ස්ථානයකි. අපට නොදැනුවත්වම සිංහල බ්ලොග් අවකාශය උප සංස්කෘතියක් බවට පත්ව ඇති සැටියකි. අපට නොදැනුවත්වම එකම පවුලක් වී ඇති සැටියකි. අපට නොදැනුවත්වම අප එක වහලක් යට ජීවත් වන සැටියකි. ශ්‍රී ලංකාවේ සතර කොනේ සිටියත් ලෝකයේ කොයි රටේ සිටියත් බ්ලොග් වාසී, සයිබර් වාසී වර්චුවල් පවුලේ අයෙකුගේ කිවිසුම පවා අන් අයට දැනෙන හැගෙන තරමට අප ලබැදියන් වී සිටිමු.

එපමනක් නොව සාමාන්‍ය සමාජයේ අපිට ඇසුරුකරන්න කතාබහ කරන්න ලැබෙන්නේ සම වයස් , සම වෘත්තීකයන්, සම සමාජ ස්තරයන්, සම ආර්ථික සහිත සියළු කරුණු කාරණාවන් වලින් අපට සමාන වන පුද්ගලයන්ය. වෛද්‍යවරයකු ආශ්‍රය කරන්නේ වෛද්‍ය ක්ෙෂ්ත්‍රයට සම්බන්ධ පුද්ගලයන්ය. ඉංජිනේරුවකු ආශ්‍රය කරන්නේ ඉංජිනේරු අංශයට අදාල පුද්ගලයන්ය. බස් කොන්දස්තර කෙනෙකුට ආශ්‍රය කරන්න ලැෙබන්නේ ඒ ආශ්‍රිත පුද්ගලයන්ය. වෛද්‍ය වරයකු සමග හරි හරියට කදේ දමන්නට බස් කොන්දස්තර කෙනෙකුට තියෙන අවස්ථාවන් ඉතාමත් අල්පය. ඒ සදහා අවස්ථාවක් නැතයි කිවහොත් වඩාත් උචිත යැයි මට සිතේ. එනිසා අප සාමාන්‍ය සමාජ ආශ්‍ර ක්‍රමය ඒක කේන්ද්‍රීය සමාජ ක්‍රමයක් යැයි නම් කළ හැකිය.

මෙම ඒක කේන්ද්‍රීය සමාජ ක්‍රමය නිසා හුවමාරු වන අදහස් උදහස්, දැනුම ආකල්ප, ජීවන අත්දැකීම් මෙන්ම විහිළු තහළු එම එක් එක් ස්තරයන් හී පාවෙන තත්වයක් පවතී. එක් ස්තරයක දේවල් තවත් ස්තරයක් සමග මුහුවීමට අවස්ථාවක් නැතිය. ඒ හේතුවෙන් පහල ස්තරවල සිටින්නන්ට ඉහල ස්තරයන් වල සිටින්නන් ගේ සිතුම් පැතුම් හදුන්නනේ නැතිය. ඉහල ස්තරවල සිටින්නන්ට පහල ස්තරවල සිටින්නනගේ හෘද ස්පන්දනය ගැන වැටහීමක් නැතිය. මෙවැනි දේවල් හා දුර්අවබෝධයන් හේතුවෙන් ගැටුම් කාරී තත්වයන්ද ඇතිවන අවස්ථාද අප අසා හදුනා හා අත් දැක ඇත්තෙමු.

නමුත් සයිබර් අවකාශය ඔස්සේ, බ්ලොග් ගොඩැල්ල ඔස්සේ, ගූගල් බස් ඔස්සේ එම ඒක කේන්ද්‍රීය සමාජ සංස්කෘතියට තිතක් තබමින් සියළු සමාජ ස්තරයන් එකම පංතියකට එකම ස්තරයට කැන්දමින් තිබේ. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, පරිගනක වේදීන්, බැංකු ලිපිකරුවන් හා විධායක ෙශ්‍රණි වල පමනක් නොව පාසල් යන සිසුන්, රැකියාවක් නොකර ගෙදරට වෙලා සිටින්නන්, ගෘහනියන් ආදී එකී මෙකී නොකී සියළු ස්තරයන් එකම බස් එකේ කදේ දාගෙන දවස පුරා දැනුම, විනෝදය, හාස්යය, පාළුව, කාන්සිය බෙදාහදා ගනිමින් සිටී. සමාන්‍ය සාමාජයේ දී සර්, මහත්තයා, නෝනා ලෙසින් අමතන්න වූවන් අපි අද මචං, අයියේ, අක්කේ, නංගියේ, මල්ලියේ ලෙසින් ආමන්ත්‍රනය කරගමු.

ඉදින් මෙම ලෙංගතු කම් හරහා අපට ඒ ඒ සමාජ ස්තරයන් ගැන පැවතියාවූ දුර් අවබෝධනයන් ලිහා ගත හැකිවනු ඇත. අප නොදන්නා දේවල් අසා දැන ගත හැකිය. කිසියම් වැඩකට අත ගැසීමට ප්‍රථම ඒ ගැන පළපුරුද්දක් ඇත්තෙකුගෙන් අසා දැන ගත හැකිය. නොමිලේම සාරවත් උපදේශනයන් ලබා ගත හැකිය. මෙහිදී ඉරිසියාකම්, කුහකකම් හා මාන්නයන්ට පැවැත්මක් නැති හෙයින් අපට අපගේ ගැටළු වලට නිවැරදිම විනිශ්චයන් ලබාගත හැකි වනු ඇතිය.

ඉතින් මෙම සයිබර් සංගමය බ්ලොග් අවකාශය ගූගල් බස් රථය මෙන් ස්ථානයන් වලින් දැන හැදින ගත් අප ඔබ මෙම සමාජ ක්‍රමය නවමු මාවතකට ගෙන යමින් සිටිනෙමු. මිත්‍රත්වකම්, හිතහොදකම්, අසමානාත්මකම්, සමානාත්මතාවයෙන් බෙදාහදාගත් ඔබ අප දැන් එකම පවුලකි. ඉතින් අප පවුලේ කෙනෙකුට කරදරයක්, හිරිහැරයක්, දුකක් සිදුවී උදවුවක් උපකාරයක් අවැසි මොහොතක් උදා වුවොත් අපි කුමක් කරමුද? අපි ඔහුව ඇයව අමතක කරමුද? ඒ අවංක කම ලැබැදි මිතු දම සයිබර් අවකාශයේ අදුරු මුල්ලකට තල්ලු කර සගවා තබමුද?

මා ප්‍රිය සහෘදය, ඔබ මා සමග ලෙංගතුකම බෙදා හදාගත් එවැනි සහෘදයකුට අපගේ උදවු අවැසි මොහොතක් උදා වී තිබේ. සයිබර් යායෙන් ගොඩනගාගත් ඒ මිතු දම අවංක කම මනුෂ්‍යයත්වය වෙනුවෙන් ඔබේ උපකාරයේ හස්තය අපි අපේ ලබැදි සහෘදයා වෙනුවෙන් දික් කරමු.

බ්ලොග් ගොඩැල්ලේ ඉලංදාරියා හා ඒකාත්මික වූ ඔබ ඔබේ මිහිරි වදන් ඔහුගේ සවන් මත්තේ තබන්න, ඔබත් ඔබේ හැකි උපරිමය ඉටුකරන්නට පෙළ ගැසෙන්න.

සෝදුපත් කියැවීම
ගයාත්‍රී චතුරාණී

වැඩි විස්තර
ඉලංදාරියා
දුකා


ඔබ දෝහා කටාර් හී බ්ලොග් ලියන කියවන අයෙක් නම් ද ඉලංදාරියාගේ නිහඩ ලොව බිදින්න ව්‍යාපෘතියට සම්බන්ධ වන්න කැමතිනම්ද කථා කරන්න. අපි එකතුව දෝහා කටාර්වලින් ඉලංදාරියා වෙනුවෙන් කරන්න හැකි යමක් ගැන සාකච්චා කරමු.
මූලික ලිපිය සඳහා මේ යොමුවෙන් යන්න

0 comments:

Post a Comment