Tuesday, February 15, 2011

දිලුම් වෙනුවෙන් ප්‍රථම පැදුරු සාජ්ජය

"දිලුම් වෙනුවෙන් අපි" ව්‍යාපෘතියේ සැලසුමේ (Project Plan)  11 වන කාර්‍යය සාධනය  (Work break down) වන, එක්සත් අරාබි එමීරයේ පැවැත්වීමට යෝජිත පැදුරු සාජ්ජ පෙළෙහි පළවන පැදුරු සාජ්ජය, මා මීට පෙර රැකියාව කල "එමිරේට්ස් ගුවන් සමාගමේ පරිගණයක අංශයේ" (Emirates Group IT) සේවයේ නියුතු මිතුරන් උදෙසා අප මිතුරු "ලාලිත වීරරත්න" මහතාගේ නිවසේ පෙබරවාරි 16 වන දින, පැවැත්වෙන බව සතුටින් දැනුම් දෙමු.

ඉතාමත් කාර්ය බහුල ජීවිත ගත කරන අපගේ දාහය නිවන සොඳුරු මොහොතක් සනිටුහන් කරන ගමන්ම, අප සොයුරු දිළුම්ගේ සවනත පැදීමේ මහණ්‍ය පුණ්‍ය කරමයටත් දායක වීමට 30 දෙනෙකුගේ පමණ සහභාගීත්වයක් මේ වනවිට තහවරු කරල තියෙනවා.

මවුබිමෙන් පිට රුදු කතරේ රාජකාරී කරන අප සැම ඉතාමත්ම යාන්ත්‍රික වී තිබෙන බව අමුතුවෙන් කිව යුතු නෑ. බොහෝ විට උදයේ ඉර නැගීමටත් පෙර නිවසින් එළියට බසින අප බොහෝ දෙනා නැවත නිවෙස් කර ලඟා වෙන්නෙ ඉර බැස ගොසිනුත් හෝරා කිහිපයක් ගත වීමෙන් අනතුරුව තමයි. බහුතරයක් අපට යම් අස් වැසිල්ලක් ලැබෙනුයේ සති අන්තයේදී පමණයි. ලංකාව තරම් නිවාඩු දින නොමැති අරාබි එමීරයේ සති අන්තයට අමතරව ලැබෙන නිවාඩු දින තිබෙන්නේ එක් අතක ඇඟිලි වලින් ගණන් කරන්න හැකි ගණනක්. එවන් නිවාඩු දිනක් මහමුද් තුමාගේ උපන්දිනය වෙනුවෙන් 17 වෙනිදාට යෙදී තිබෙනවා. ඒ අවස්ථාව ප්‍රොයෝජනයට ගෙන තමයි මේ පැදුරු සාජ්ජය 16 වනිදා රාත්‍රියේ පැවැත්වීමට ලහි ලහියේ කටයුතු සම්පාධනය කලේ.


මේ පැදුරු සාජ්ජය පැවැත්වීමට හේතුව අප සහභාගී වන මිතුරන්ට පැහැදිලිව දන්වා තිබෙනවා. අප මෙහිදී සහභාගී වන්නන්ගෙන් බලාපොරොත්තු වන්නේ අප සපයන සංගීතය සහ ගායනා කෙරෙන ගීත වල හුවමාරුවට දිලුම් වෙනුවෙන් මූල්‍යමය උපකාරයක්. ඒ සම්මාදම ඔවුනට ඉදිරියේ තබා තිබෙන මංජුසාවකට දැමිය හැකියි. සාජ්ජය අවසානයට පෙර සියළු දෙනාගේම ඉදිරියේ එකතු වූ මුදල ගණන් කිරීමෙන් අනතුරුව එහි අන්තිම ඩිරාමය දක්වා අප මේ අඩවියේ පළ කරනවා. එසේම පවත්වන්නට යෙදෙන අනිකුත් පැදුරු සාජ්ජ වල සම්මාදම් මුදලද පැවැත්වූ දිනය, ස්ථානය සමගම මේ අඩවියේ සටහන් කිරීමට අදහස් කරගෙන සිටිනවා. සියළුම දෙනාටම දැනගත හැකි විනිවිද භාවයකින් යුතුව මේ සද්කාර්ය කිරීමට අප සියළුම උත්සාහයන්ම යොදන බව වග කීමකින් යුතුව ප්‍රකාශ කරන්න කැමතියි.


සහභාගී වන්නන්හට පහසුකම් සැලසීමට අප එකතුවන මුදලින් එකදු ඩිරාමයක්වත් යොදා ගන්නේ නෑ. සාජ්ජයට අවශ්‍ය කෑම බීම සියල්ල සහභාගී වන්නන් විසින් රැගෙන එනවා ඇති. කෑම සඳහා තැටි පාන්, පරිප්පු සමග පොල් සම්බෝලද, මදු විත සඳහා ගෙවල් වල ඉතිරිවී තිබෙන "කොට" කෑලිද සහභාගී වන්නන් විසින් රැගෙන එනවා ඇති.


මේ තාක් දුරට ප්‍රථම පැදුරු සාජ්ජය යතාර්ථයක්  කරගැනීමෙහිලා සියළු බර කර මත තබාගෙන සංවිධාන කටයුතු කල ලාලිත වීරරත්න මහතා, සුනන්ද කාරියකරවන මහතා, රෝෂන් හමීඩ් මහතා, කණිෂ්ක සමරනායක මහතා ඇතුළු නම් සඳන් කිරීමට නොහැකිවූ සියළුම සහෘදයන් වෙත මාගේ කෘතඥ්ඥ පූර්ව ස්තූතිය මේ අවස්ථාවේ පුද කරන්න කැමතියි.

මෙයට අමතරව එළඹෙන ඊලඟ සති අන්තයේ එටිසලාට් සමාගමේ සේවයේ නියුතු ලාංකීය මිතුරන් වෙනුවෙන් පැදුරක් සංවිධානය කිරීමට අපගේ තවත් මිතුරෙක් ඉදිරිපත් වී සිටිනවා. මෙවන් පැදුරු සාජ්ජ කිහිපයකින් අප බලාපොරොත්තු වනවා සැලකිය යුතු මුදලක් දිළුම් වෙනුවෙන් අකතු කර ගැනීමට අපට හැකි වේවී කියා.


රුදුරු රළ විසින් දහසක් තාරකා මාළුන් ගොඩ ගසන මෙකල, එක් තාරකා මාළුවෙකුගේ ජීවිතයේ හෝ වෙනසක් ඇති කිරීමටයි අපගේ මේ කැප වීම.




එක්සත් අරාබි එමීරයේ "අපේ කට්ටිය" මිතුරු සංසදයේ තවත් ව්‍යාපෘතියක්.

11 comments:

Lishan Puwakovitage said...

එල ජය වේවා උඹලා ඔක්කෝටම..!

Anonymous said...

ඔහොම යං. සුභ ගමන්.

- Taboo

෴ හසියා ෴ said...

උඹලා හැමෝටම මේ මහා කර්තව්‍ය හිතනවටත් වඩා හොදින් සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්නත් ඉතාමත් සාර්ථක වෙන්නත් කියලා හදවතින්ම අපි මෙහේ ඉදන් සුභ පතනවා....!!!

Teena said...

ඈත රටක ඉඳන් තමන්ගේ කාර්යබහුලත්වය මැද මේ වගේ කාර්යයකට සංවිධානය කර ගන්න පුළුවන් උනා නම් ඒ ඔබේ අවංක උත්සහාය නිසාම පමණයි. ජයවේවා අයියා! සිතුවටත් වඩා සාර්ථකව මේ වැඩේ ඉවර කර ගන්න පුළුවන් වේවා කියලා මම හදපත්ලෙන්ම සුභ පතනවා..

Pasan said...

අපෙනුත් ඔන්න සුභ පැතුම්.. හරිම සතුටුයි මේ වගේ අය අදුන ගන්න ලැබුන එකටත්...

Hasitha Gunasinghe said...

ජයෙන් ජයම වේවා

Bunny said...

නියමයි ඉදිරි වැඩ පිලිවෙල සාර්තකම සාර්තක වේවා...!!

Anonymous said...

ජයෙන් ජය .ඇත්තටම ආඩම්බරයි දුමී අයියේ , ඔබලාගේ උදාර සිතුවිලි . අපේ නිදන් ගත මේ යහ ගුණ අමතක කරලා තමයි අද අපේ බහුතරයක් දෙනා කාලකන්නි ආත්මාර්ථකාමී වෙලා තියෙන්නේ . ඉලන්දාරියාගේ බ්ලොග් එකේ කවුරුද පාහරයෙක් මෙහෙම කමෙන්ට් එකකුත් දාල තිබුනනේ
-----------------------------------------
"Uba kuuriya gahuwaama nightak gahanna mamath ennam.... aniwar"
-----------------------------------------

තුසිත සම්පත් said...

සියලු දේවල් සාර්ථක වේවා...!!!!

BLOG ගඩොල් said...

උණුසුම් සුභපැතුම් මචෝ!!!

උකුස්සා said...

ලංකවේන් පිටරටක හිටියත් කරන මේ මනුෂ්‍යත්වයේ සත්කාරයට නුබලාට බොහෝම පින්....

Post a Comment