Thursday, February 17, 2011

ප්‍රථම පැදුරු සාජ්ජය - තෘප්තිමත් සාර්ථකත්වය



පැදුරු සාජ්ජ්ය අංක 1
දිනය : පෙබරවාරි 16, 2011
ස්ථානය : ඩුබායි, ගිසර්ස්, ලාලිත වීරරත්න සහ එම මහත්මියගේ නිවස්නය
එකතු වූ මුළු මුදල : AED 1870
රුපියල් අගය ( 17/02/2011 හුවමාරු අගය මත ) : Rs 56,397.31

තවෙකුගේ දුක්ඛ දෝමනස්සයන් හමුවේ අප සිත් කම්පා වන්නේත්, නෙතට කඳුලක් උණන්නේත් අප හුදෙක් මිනිසුන් වූ නිසාමද ? එසේ නොමැති නම් අප හුදෙක් මිනිසුන් නිසා පමණක් නොව සුවිශේෂී වූ ලාංකීය මිනිසුන් වූ නිසාද ? තීරණය ඔබට බාර කරමි.

හදවත් තෙත් වූ එවන් සොඳුරු ශ්‍රී ලාංකීය මිනිසුන් රැසක් එකට එක්වූයේ තම දිවිය තුල කිසිදා මුණ නොගැසුණු, කතා බස් නොකෙරූ තවත් එක් මිනිසෙකුගේ නෙත රැන්දූ කඳුළු බිඳුවක් හැකි පමණ පිස ලෑමට දායක වන්නටය.

දිලුම් වෙනුවෙන් පැවැත්වූ ප්‍රථම පැදුරු සාජ්ජයේ නිමාව සනිටුහන් වූයේ ඒ සොඳුරු මිනිසුන් තම දාහය සරි කරගත් අස්වැන්නෙන් හැකි පමණින් කොටසක්, තව මිනිසෙකුගේ කඳුලක් පිස ලෑම සඳහා දායක කරලීමෙන්.

දිලුම්ගේ ශල්‍යකර්මය සඳහා හරවත් දායකත්වයක් සැපයිය හැකි,උපරිම මුදලක් එකතු කල හැකි ක්‍රමයක් ගැන මමත් දුකාත් සාකච්චා කලේ නොයෙකුත් කාරණා සැලකිල්ලට ගනිමින්. කල හැකිව තිබූ ලේසිම දෙය නම් තනි තනිව අපට ලබාදිය හැකි මුදලක් දිලුම්ගේ ගිණුමට බැර කොට අපගේ වගකීම ඉටු කෙරුවා යැයි සිත් සනසා අත පිස ගැනීමය. නමුත් තව පියවරක් ඉදිරියට තැබුවේ නම් අපගේ හිතවත් මිතුරන්ගෙනුත් දිලුම් වෙනුවෙන් යම් උපකාරයක් ලබා ගත හැකි වේ යැයි අපහට හැඟී ගිය කාරණයයි.
නමුත් අපගේ මිතුරන්ගේ පමණක් නොව,අපට මේ තාක් මුණ නොගැසුනු මිතුරන්ගේ මිතුරන් සහ හිතවතුන්ගෙනුත් මුණ ගැසී ඔවුනගේත් දායකත්වයත් ලබා ගැනීම සඳහා අපගේ පරිමාව, අපගේ කාර්ය බහුල දින චරියාව තුල කලමණාකරණය කර ගත හැකි හොඳම ව්‍යාපෘතිය ලෙස අප හට හැඟී ගියේ මේ පැදුරු සාජ්ජ සංකල්පයයි. යම් මිතුරෙකුගේ නිවසක පැදුරු සාජ්ජයක් පවත්වා, එම මිතුරාගේ මිතරන් හටත් ආරාධනය කර, සහභාගී වන්නන් සඳහා යමක් ලබාදී, ඒ වෙනුවෙන් යම් මුදලක් දිලුම් වෙනුවෙන් ලබාදෙන ලෙස ඉල්ලා සිටීමෙන්, හුදෙක් යම් මුදලක් එකතු කිරීම පමණක් නොව ඔවුන් වෙත යම් වින්දනයක්ද ලබාදී මේ සද්කාර්යය සම්පූර්ණ කර ගැනීමයි අපගේ සංකල්පය වූයේ.




ප්‍රථම වතාවට මෙවන් කාරයකට අත ගැසීමේදී මෙය සාර්ථක වේදෝ නොවේදෝ යන දෙගිඩියාවක් ඇති වීම අරුමයක් වන්නේ නෑ. නමුත් ඉතාමත් සාර්ථක වූ ප්‍රථම පැදුරු සාජ්ජය අවසානයේදී අතිශය තෘප්තිමත් සහ ධෛර්ය්‍ය සම්පණ්ණ මනසක් අප සතු වූවේ අප ඉදිරියේ ඇති අභියෝගය අපහට ජයගත හැකියැයි මොනවට පැහැදිලි වූ නිසායි.


මේ කාර්ය්‍ය තනිව සිදු කල හැකි එකක් නෙවෙයි. ප්‍රථමයෙන් මාගේ සහෘද සංගීත කණ්ඩායම ගැන මතක් කල යුත්තේ ගෞරවාන්විත ස්තූතියකින්. වෙහසකාරී දවසක් අවසාණයේ, අරාබි එමීරයන්ගේ සැතපුම් සිය ගණන් ගෙවා පැමිණ සියළුම කැප කිරීම් කරමින්, තම තමන්ගේ පුද්ගලික ගැටළු සහ ජීවන අරගලය මොහොතකට අමතක කර මේ කාර්ය්‍යයට සම්භන්ධ වීමම ඔවුන් තුල මිනිසත් කමටත් එහා ගිය ගුණාංගයක් ඇතැයි මට නම් නිරතුරුවම සිතෙන්නක්.


අපගේ මේ ව්‍යයාමය තුල සුවිශේෂී වූ එක් පුද්ගලයෙක් ගැන සඳහනක් නොවුනොත් මේ සටහන අසම්පූර්‍ණ එකක් වෙයි. ඔහු නම් අපගේ පෙරමුණේ රාළ ලෙස ඉදිරියෙන් සිටිමින්, තමන්ගේ පරිණත ජීවිත අත්දැකීම් ගුරුකොට නිරතුරුවම අප දිරිමත් කරමින්, අඩු පාඩු පෙන්වා ඒවා හරියාකාරව පෙළ ගැසීමට නිරතුරුවම තම දායකත්වය ලබාදෙන ජෝජ් හෙට්ටිආරච්චි මහතා, එසේ නොමැති නම් අපගේ ආදර ජෝජ් අයියා.පැදුරු සාජ්ජ්ය අතර පැමිණ සිටියවුන් අමතා, අප විසින් සිදු කරන මේ ක්‍රියාවේ අරමුණ පැහැදිලි කරමින් ඔහු විසින් කරනා ලද කතාව සියළුම දෙනාගේ පැසසුමට ලක්වූවා.





මේ ප්‍රථම පැදුරු සාජ්ජය මේ සාර්ථකත්වය කරා රැගෙන යෑමට නොපැකිලිව තම නිවස ලබා දුන් අප මිතුරු ලාලිත වීරරත්න මහතා සහ එම මහත්මියත්, සංවිධාන කටයුතු ඉතා මැනවින් සිදු කල සුනන්ද කාරියකරවන, රෝෂන් හමීඩ්, කණිශ්ක සමරනායක, ක්‍රිෂාන් ඉන්දක සහ චන්දන රොද්‍රිගූ යන මහත් වරුන් දුන් දායකත්වය මනෙහි කරන්නේ ඉතාමත් ස්තූති පූර්වකව. අවසානයේ මේ සාජ්ජයට සහභාගී වී තම දායකත්වය දිලුම් වෙනුවෙන් ලබා දුන් සියළුම සහෘදයන් හටත් අපගේ ගෞරවාන්විත ස්තූතිය.


පැදුරු සාජ්ජයට සහභාගී වී දායකත්වය සැපයූ සහ, සහභාගී වීමට නොහැකිවූවත් තම දායකත්වය සැපයූ සියළුම සහෘදයන්ගේ විස්තර මේ ලිපියටම සම්බන්ධ කර පසුව පළ කරන බව දන්වා සිටිනවා. මේ ආකාරයට ඉදිරියේ පැවැත්වෙන්නාවූ සියළුම සාජ්ජයන්ගේද දායක වූවන්ගේ විස්තරද පළ කිරීමට සිතා සිටිනවා.













දිලුම් වෙනුවෙන් පැවති ප්‍රථම පැදුරු සාජ්ජයේදි පටිගත කරන ලද ගීත කීපයක්.












එක්සත් අරාබි එමීරයේ "අපේ කට්ටිය" මිතුරු සංසදයේ තවත් ව්‍යාපෘතියක්.

19 comments:

Abeetha Edirisinghe said...

ජය වේවා උඹලා ඔක්කොටම... අපිට ආඩම්බරයි ඔයාලා ගැන.... දිලුම් මචන්... උඹේ කණ ඇහෙන දවස වැඩි ඈතක නෙමෙයි.....

හසී said...

හැමදේම සාර්ථක වෙලා අපේ ඉලන්දාරියාට කන් ඇසෙන දිනය ඉක්මනින්ම පැමිනේවා..

Anonymous said...

අප හැමෝටම තිබුණා පෞද්ගලිකව කළ හැකි ආධාරයක් පමණක් කරලා, "පඩ ෂෝ" වැඩක් නෑ කියල, "අනේ මගෙ මලයෝ, අපේ කඳුළ සුසුම ඔබයි" කියල, වචනයෙන් පමණක් උදව්වක් දීලා නිහඬ වෙන්න. ඉලංදාරියාගේ එවැනි වචී පරම මිත්‍රයින් අතර දුමී වැනි පිරිස් කරන මේ කටයුත්ත මා ඉතා අගය කරනවා. "පඩ-ෂෝ" ඉදිරියටම ගෙනයමු. "පඩ-ෂෝ" වලින් විතරයි අපට ඉලංදාරියා සුවපත් කළ හැක්කේ. ජයෙන් ජය!

- Taboo

Buru Babe said...

මා මෙය කියවන්නේ ඉතා හදිස්සියෙන් උනත් මේක දැක්ක ගමන් මටත් දුමීට වචනයක් නොකියාම බෑ.
උඹලා වගේ මිනිස්සු අපේ රටේ තාමත් ඉන්නවා කියන්නේ මට නම් හිතාගන්න බැරි ආඩම්බරයක් දුමීයෝ.
පස්සේ එන්නම්කෝ

ගීත් (සහෘදයා) said...

දුමී අයියා මනුස්සයෝ කියන නමේ තේරුම පැහැදිලි කරන්න තරම් උපමා තවම මිහි මත තියෙනවා කියලා හැගෙනවා උබලගේ මේ වැඩ සටහන් දැක්කහම. ජීවිතයේ කිසිදිනක නොදැකපු උබලා වගේ මිනිස්සුන්ගෙ ධෛර්යයයේ සුවය විදින්න ඉලංදාරියා සෑහෙන වාසනාවන්තයෙක් අනිවාර්යෙන්ම.

෴ හසියා ෴ said...

මිනිසුන් වැනි දෙවිවරුන් මැද ජීවත් වීමද භාග්‍යකි.....සියල්ලම මේ වගේම හොදින් සාර්ථක වෙන්නත් මේ දිනවල අපේ එකම පැතුම වන අපේ ඉලං සහෝව සුවපත් කීරීම යන පවිත්‍ර චේතනාව ඉතා ඉක්මනින්ම සාර්ථක වෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....!!!

BLOG ගඩොල් said...

කියන්න වචන නෑ මචං! බොහොම අගෙයි

BLOG ගඩොල් said...

කියන්න වචන නෑ මචං! බොහොම අගෙයි

Hipo said...

අගනා වෑයම...

sansarasidu said...
This comment has been removed by the author.
මිකී said...

දුමී, උඹනම් නියම හදවතක් තියෙන මිනිහෙක් මචං. මේ වැඩසටහන සාර්ථක වෙන්ඩ කියල ප්‍රාර්තනා කරනවා. ඒ වගේම, පුලුවන් විදිහට අපිත් උදව් කරන්නම්...

sansarasidu said...

දුමී අයියා,

මට කියන්න තියෙන්නෙ මෙච්චරයි...

මේ සරුවපිත්තල එල්ලාගත් ලෝකයේ, පොළවේ පය ගසා ජීවත් වන, අනුන්ගේ දුකේදි පඬුපුල් අසුන් නොව හදවත උණුවන දෙවිවරු, තවමත් වැඩ වෙසෙති...

රොබින් said...

සතුටුයි...බොහොම සතුටුයි

dinesh said...

හදවත් ඇත්තෝ.ඇත්තටම ගොඩක් සතු‍ටුයි.

Danishka said...

සියලු කටයුතු සාර්තක වේවා!

පූසා said...

නියමයි දුමී අයියේ! ඇත්තටම සතුටුයි :)

Dee said...

I am, too, speechless! A big hug to you and the team, Dumee!!

නිශ් said...

එළ වැඩක් දුමී බොහොම අගෙයි

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

ඔය වැඩේ අපිට ලංකාවේ කරන්න බැරිද ? 50,000 ක් නැතත් 10,000 ක් හරි හොයලා දිලුම් වෙනුවෙන් එකතු කරගන්න හැකිවේවි. මටත් උදව්වක් කරන්න හැකිවේවි. අවශ්‍ය යැයි සිතෙනවා නම්,
chathudscp@gmail.com

Post a Comment